බදු එකතු කිරීම වේගයෙන් ඉහළට – ඇමති ආනන්ද විජේපාල

    February, 21, 2025

    අද (21) දිනට තම රජය බලයට පැමිණ මාස 03ක කාලයක් සම්පූර්ණ වන බවත්, මෙම වකවානුව තුළ දී බදු එකතු කිරීමේ යාන්ත්‍රණය කාර්යක්ෂ කිරීමට ලැබුණු හැකියාව තුළින් බදු එකතු කිරීම වේගවත් වී ඇති බවත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද දින පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “අදට රජයට මාස 03යි. අද 21 වැනිදා. පහුගිය 2024 අවසන් කාර්තුව ගත්තාම බදු එකතු කර ගැනීම වේගයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. කෙනෙකුට හිතනේන පුළුවන් මේ අයවැයේ මෙතරම් සහන දෙනවා, හැබැයි අලුතින් බදු පනවලා නැහැ, ජනතාව පිට බදු පනවලා නැහැ, ව්‍යාපාරික ප්‍රජාව පිට බදු පනවලා නැහැ, එහෙනං කොහොමද මේ සහන දෙන්නේ කියලා. ඔබ දන්නවාද, අපි මේ බදු යාන්ත්‍රණය කාර්යක්ෂම කරලා, එකතු කරගැනීම මේ වෙන කොට කාර්යක්ෂම කරලා තියෙන්නේ.“

    “2024 අවසාන කාර්තුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගිය වසරට සාපේක්ෂව රු. බිලියන 104කින් බදු ආදායම වැඩි කරගෙන තියෙනවා. 2023 අවසාන කාර්තුවේ රු. බිලියන 319යි, 2024 අවසාන කාර්තුවේ රු. බිලියන 504යි. රු. බිලියන 104කින් බදු එකතු කිරීම වැඩිකර ගෙන තියෙනවා. රේගු ආදායම 2023 අවසන් කාර්තුවේ රු. බිලියන 322යි, 2024 අවසන් කාර්තුවේ රු. බිලියන 392ක්, නැත්නම් රු. බිලියන 70කින් වැඩිකර ගෙන තියෙනවා.මේ විදියට බදු ආදායම වැඩිකර ගන්නේ, බදු කළමනාකාරීත්වය ඉහළ මට්ටමකට ගෙනඒමෙන්. සුරා බදු ආදායම 2023 අවසාන කාර්තුවේ රු. බිලියන 47, 2024 අවසන් කාර්තුවේ රු. බිලියන 14කින් වැඩිකරලා, රු. බිලියන 61ක් කරලා තියෙනවා. ඒ හින්දා අපි බදු ආදායම එකතු කිරීම කාර්යක්ෂම කරලා තියෙනවා.“