ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ 37 වන උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වෙයි

    June, 29, 2016

    මෙරට සංචාරක සහ සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම අධ්‍යාපන ආයතනයවන ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) 37 වන උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පසුගියදා පැවැත්විණි. සිසුන් 89 දෙනෙකු මෙවර උපාධි හිමිකර ගත් අතර, අසංගි සෝන්ඩර්ස් "2015 වසරේ තුන් වාර්ෂික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ විශිෂ්ටතම සිසුවාට හිමි ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගම් කුසලානය" ද, යසිත් කේෂාන් කොකුහෙන්නාදි "2015 වසරේ විශිෂ්ටතම උපාධිධරයාට හිමි ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගම් කුසලානය" ද හිමිකර ගත්හ.

    "අපගේ ක්ෂේත්‍රයේ කොඳු නාරටිය ඔබයි. ඔබගේ සහයෝගය නොමැතිව අප අපේක්ෂා කරන ඉලක්ක ජය ගැනීමට අපට නොහැකි වනු ඇති. වත්මන් රජය සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන අතර, එය මෙරට දෙවන විශාලත ම විදේශ විනිමය උත්පාදන අංශය බවට පත් කිරීම අපගේ ඉලක්කයයි." සංචාරක සංවර්ධන, ඉඩම් හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.

    2020 වසරවන විට මෙරට හෝටල් කාමර 45,000 ක් ක්‍රියාත්මක වනු ඇති බවත්, එම අවශ්‍යතාව සපුරාලීම සඳහා 300,000 ක ශ්‍රම බලකායක් අවශ්‍ය වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර හෝටල් දාම රැසක් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කර ඇති බැවින් සංචාරකයන් සඳහා කදිම නවාතැනක් ලෙස අප රට ලෝකය තුළ ප්‍රවර්ධනය වෙමින් පවතින බව අමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    37 වන උපාධි ප්‍රදානෝත්සවයේ පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරමින් SLITHM ආයතනයේ සභාපති සුනිල් දිසානායක මහතා සඳහන් කළේ මෙම උපාධි ප්‍රදානෝත්සවය SLITHM ආයතනයේ සුවිශේෂී සංධිස්ථානයක් බවය."සංචාරක සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජෝන් අමරතුංග මහතා පත් වීමත් සමග ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රය සවිමත්ව අභියෝගයන්ට මුහුණ දෙමින් වේගවත් ඉදිරි ගමනකට එළඹ සිටිනවා." ඔහු වැඩිදුරටත් සිය අදහස් පළ කළේය.

    සිය ආයතනයේ ගමන්මග සහ 2020 වසරවන විට මිලියන හතරක සංචාරකයන් පිරිසක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ සංචාරක අමාත්‍යංශ ඉලක්කය සපුරාලීම සඳහා සිය ආයතනයේ ඇති සූදානම පිළිබඳව ද දිසානායක මහතා මෙහිදී දැනුම්වත් කළේය. "පසුගිය වසරේ 3,100 ක් වූ අපගේ ශිෂ්‍ය කණ්ඩායම මෙවර 6,200 ක් දක්වා දෙගුණයකින් වැඩි කිරීමට අප සමත් වුණා. ඒ වර්තමානය සහ 2017 කාල පරාසය තුළ හෝටල් ක්ෂේත්‍රයේ මානව සම්පත් අවශ්‍යතාවවන 23560 සහ 2020 වසරවන විට මානව සම්පත් අවශ්‍යතාවවන 110,000 සපුරාලීම සඳහාය."

    නව ආයතන බිහි කරමින් SLITHM ආයතනය තරුණ-තරුණියන් මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගනිමින් ඔවුන් පුහුණු සේවකයන් ලෙස සංචාරක ක්ෂේත්‍රයට දායාද කිරීමට කටයුතු කරයි. හම්බන්තොට, පාසිකුඩා සහ මීගමුව ප්‍රදේශවල මේවන විට ද පරිශ්‍ර ඉදිකර ඇති අතර මේ වසරේ ජුලි මස තුළ පොළොන්නරුවේ ද, මෙම වසර අගදී යාපනයේ ද පරිශ්‍ර දෙකක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. කොළඹ, අනුරාධපුරය, මහනුවර, බණ්ඩාරවෙල, රත්නපුරය, කොග්ගල සහ කුරුණෑගල ප්‍රදේශවල මේවන විට ද SLITHM ආයතනය සතුව පරිශ්‍ර පවතී.

    වේගයෙන් වෙනස්වන සංචාරක ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන්ට අනුකූලවන ලෙස SLITHM ආයතනය සකස් කිරීම සඳහා 2015 නොවැම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි නව සභාපතිවරයෙකු සහ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් තෝරා පත් කෙරිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද මේ වසරේ ජුලි මස 1 වනදා සිට SLITHM ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස පත් කර ඇත.

    උපාධි ප්‍රදානෝත්සවයේ ගරු ආරාධිත වශයෙන් ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතා සහභාගී වූයේය. 1967 වසරේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන් ම ජ්‍යෙෂ්ඨ පීඨ සාමාජිකයෙකු දවන ඒ මහතා එහිදී සිය මතකයන් අවදි කළේය."ඔබ වටකර ඇත්තේ මහ මුහුදයි. එම සාගරය තරණය කිරීම සඳහා අවශ්‍ය පැහැදිලි දැක්මක් ඔබ සතුයි. තමන් කරන ඕනෑම කටයුත්තකදී තමන් තමන්ගේ ගුරුවරයා බවට පත් විය යුතුයි. ඒ වගේම ඔබ රැකියාව කරන ස්ථානයේදී පවා ඔබගේ සගයන් හට ඔබ මාර්ගෝපදේශකයෙකු විය යුතුයි. ඔබ සතු දැනුම අනාගත පරපුර සමග බෙදාහදා ගනිමින් ඔබගේ සාර්ථකත්වය ළඟා කර ගන්නා මෙන් මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා."

    සංචාරක අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස, අතිරේක ලේකම් ශිරානි වීරකෝන් සහ දීප්ති ප්‍රනාන්දු, අමාත්‍ය උපදේශක ෆීලික්ස් රොද්‍රිගු, අමාත්‍ය පුද්ගලික ලේකම් ලාල් රත්නායක, අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි මෙන්ම ශ්‍රී ලංකා සංචාරක, රාජතාන්ත්‍රික, හෝටල් ක්ෂේත්‍රය ප්‍රධානීන්, SLITHM අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, SLITHM නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රබෝද් කුලතුංග, ආයතන ප්‍රධානීන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයන්, උපාධි අපේක්ෂකයන්, දෙමාපියන් සහ සුබපතන්නන් ඇතුළු මහත්ම මහත්මීහු රැසක් මෙම උළෙල සඳහා සහභාගී වූහ.


    සේයාරූ සටහන : සංචාරක අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතා "2015 වසරේ තුන් අවුරුදු කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ විශිෂ්ටතම සිසුවාට හිමි ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගම් කුසලානය" අසංගි සෝන්ඩර්ස් සිසුවියට පිරිනැමූ මොහොත. SLITHM ආයතනයේ සභාපති සුනිල් දිසානායක සහ සංචාරක අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස මහත්වරු ද ඡායාරූපයේ වෙති.