ශ්‍රීලංකන් ගුවන් සේවය රැහැන් රහිත විනෝදාස්වාද පහසුකම හඳුන්වාදෙයි

    March, 4, 2025

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් තෝරාගත් සිය narrow-body-A320 මාදිලියේ ඇතැම් ගුවන් යානා සඳහා රැහැන් රහිත (wireless) නව විනෝදාස්වාදය පහසුකම් හඳුන්වා දී ඇත. ඒ අනුව මගීන් ‍රැගෙන යන උපාංග ඔස්සේ ප්‍රියතම චිත්‍රපට, සංගීතය සහ තවත් බොහෝ දේ ගුවන් යානය තුල දී ගමන පුරාවට බාධාවකින් තොරව රසවිඳීමට හැකි වේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මරියා සතාසිවම් මෙසේ අදහස් දැක්වී ය. “මෙම කලාපයේ හොඳම ගුවන් සේවා විනෝදාස්වාදය ඇති ගුවන් සේවය ලෙස සම්මානලාභී ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි විනෝදාස්වාද අංගයන් නව්‍යකරණය කරමින් අපගේ ගුවන් මගීන් වෙත රැහැන් රහිත (wireless) විනෝදාස්වාද පහසුකම හඳුන්වා දීම ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව හැරවුමක්. නවෝත්පාදනය තුලින් අපගේ ගුවන් මගීන් වෙත සෑම විටම සුවපහසු ගුවන් අත්දැකීමක් ලබ දීම අපගේ අරමුණයි.  රැහැන් රහිත නව විනෝදාස්වාදය පහසුකම හඳුන්වා දීම අරමුණ කරා අප යන ගමනෙහි තවත් එක් පියවරකි.”

    ගුවන් මඟීන්ට සිය ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් හෝ ලැප්ටොප් භාවිතා කරමින්, ගුවන් සේවයේ Wi-Fi ජාලය වන SkyPlus හරහා අසුන් පසුපස තිර අවශ්‍යතාවයකින් තොරව, ගුවන් සේවයේ විනෝදාස්වාද පද්ධතිය (in-flight entertainment system) වෙත ප්‍රවේශ වීමට සහ බාධාවකින් තොරව නැරඹීමට හැකියාව ඇත. Everhub තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම නවතම පහසුකම තුලින් මගීන්ට තමන්ගේ රුචිකත්වය අනුව ගුවන් සේවයේ විනෝදාස්වාද පද්ධතිය වෙත ප්‍රවේශ වී තෝරාගැනීම් සිදුකළ හැක.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ විනෝදාස්වාද පද්ධතිය (in-flight entertainment system) නවතම හොලිවුඩ් බ්ලොක්බස්ටර් මෙන්ම ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ අනෙකුත් කලාපීය ජනප්‍රියතම චිත්‍රපටවලින් සමන්විත වේ. ක්‍රියාදාම, හාස්‍ය, නාට්‍ය, වික්‍රමාන්විත, සජීවිකරණ, ළමා, සංගීතමය, විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රීඩා ඇතුළු විවිධ පරාසයන් ආවරණය වන පරිදි ජනප්‍රිය චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් තමන්ගේ රුචිකත්වය අනුව තෝරාගැනීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමි වේ. මීට අමතරව ජාත්‍යන්තර ජනප්‍රිය ගීතවල සිට දේශීය සම්භාව්‍ය ගීත ඇතුලත් 100 කට අධික ගීත ඇල්බම් අතුරින් තමන් කැමති සංගීත රසවිඳීමට ද හැකියාව ලැබේ.

    මධ්‍යම/දකුණු ආසියාවේකලාපයේ විශිෂ්ටතම ගුවන් සේවා විනෝදාස්වාද සඳහා වූ “2025 APEX Best Entertainment” සම්මානය හිමිකර ගැනීමට සමත් වූ ශ්‍රීලංකන් ගුවන් සේවය රැහැන් රහිත විනෝදාස්වාද පහසුකම හඳුන්වාදීම තුලින් ඉන්ධන කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීමට ද හැකියාව ලැබෙන අතර මඟීන්ට පහසුවෙන් ගුවන් සේවයේ විනෝදාස්වාද පද්ධතිය (in-flight entertainment system) වෙත ප්‍රවේශ වීමට සහ බාධාවකින් තොරව නැරඹීමට හැකියාව ලැබේ.