අදානි එනවානම් අපි විවෘතයි

    March, 11, 2025

    අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් සිදු වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යි.

    කෙසේ වෙතත් අදානි සමාගම මෙරටට ගැලපෙන ආයෝජන ගෙන එන්නම් ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න සූදානම් බව ද අමත්‍යවරයා එහි දී වැඩිදුරටත් පවසා සිටියේ ය.

    "අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් වෙලා නැහැ. ඒක ජනාධිපතිතුමා ඉන්දියාවට යන්න කලින් එකක්, ගියාට පස්සේ තව එකක් වගේ එකක් නැහැ. ඒක බොරු. අපේ ස්ථාවරය තියෙන්නේ අපේ ආයෝජනය විවෘතයි. අදානි සමාගමත් අපට ගැලපෙන ආයෝජන ගෙන එනවානම් ඒවා විවෘතව සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මේ නිෂ්චිත සුළං විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපට මෙහි ගාස්තු ගැන රජයේ අදහසක් තියනවා. මේ ගාස්තු ඉහළයි. අපේ ඉල්ලීම ඒ ගාස්තු සංශෝධනය විය යුතුයි. ඒ ගාස්තු සංශෝධනය කරගෙන එනවානම් ඒක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ගාස්තු සංශෝධනය කරන්න ඔවුන් සූදානම් නැත්නම් ඔවුන්ට තීන්දුවක් ගන්න පුළුවන් එහෙනම් මේ ව්‍යාපෘතිය අතහරින්න කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලංකාවෙන් ආයෝජකයෝ සියල්ල යනවා කියන එක. කවර ආයෝජකයෙක් වුනත් ඒ බර අපිට දරාගන්න බැරිනම් අවසානේ ඒ බර අපිට ජනතාව මත පටවන්න සිද්ධ වෙනවානම් රජය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා."