March, 14, 2025
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්‍රාග්ධන වෙළඳපොළ ආයෝජක හමුව 2025 මාර්තු 27 සහ 28 යන දිනවල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, ප්‍රමුඛ ලැයිස්තුගත සමාගම්වල නියෝජිතයින් සහ කොටස් තැරැව්කාර සමාගම් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වීමට නියමිත අතර, ඉක්මනින් සංවර්ධනය වෙන ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු හැකියාව පිළිබඳ ඒකාබද්ධ දැක්මක් ඒ හරහා ඉදිරිපත් වනු ඇත.
දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළවල ප්‍රධාන පාර්ශවකරුවන් මීට සහභාගී වනු ඇති අතර, අන්‍යෝන්‍ය වර්ධනයට හේතු වන සම්බන්ධතා සහ හවුල්කාරිත්වයන් සඳහා එය හේතු වනු ඇත. මෙයට විදේශීය ආයතනික ආයෝජකයින් සහ අරමුදල් කළමනාකරුවන්, දේශීය අරමුදල් කළමනාකරුවන් සහ ආයතනික ආයෝජකයින් මෙන්ම ප්‍රමුඛ කර්මාන්තකරුවන් ද අයත් වන අතර, මෙය අර්ථවත් සංවාද සහ සහයෝගීතාවන් වෙනුවෙන් වෙන්වූ වේදිකාවක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රශංසනීය පුනර්ජීවනයකට භාජනය වෙමින් පවතින අතර, එහි ප්‍රාග්ධන වෙළඳපොළ ගෝලීය ආයෝජකයින් සඳහා ආකර්ශනීය විවිධාංගීකරණ විකල්පයක් ලෙස පත්ව ඇති අතර රටේ සංවර්ධනයේ කොටසක් වීමට අද්විතීය අවස්ථාවක් ඉන් හිමි වේ. 2023 සහ 2024 සඳහා වන වාර්ෂික ප්‍රතිලාභ ධනාත්මක අගයක් ගනී. සියලුම කොටස් මිල දර්ශකය (ASPI) සහ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය 2023 දී පිළිවෙලින් 25.50%ක සහ 16.42%ක ප්‍රතිලාභ ලබා දී ඇති අතර, 2024 දී සියලුම කොටස් මිල දර්ශකය 49.66%කින් සහ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය 58.46%කින් ප්‍රතිලාභ ලබා දී ඇත. දර්ශකවල ප්‍රවණතාව 2025 දක්වා අඛණ්ඩව පැවති අතර, විශේෂයෙන් පසුගිය වසර දෙක තුළ වෙළඳපල පරිමාවන් සහ පිරිවැටුමේ සැලකිය යුතු දියුණුවක් සමඟ දර්ශක දෙකම ධනාත්මක පරාසයක පවතී.
2024 දී, වෙළඳපොළ ඇමරිකානු ඩොලර් මිලියන 66.5ක ධනාත්මක ශුද්ධ ලැබීම් වාර්තා කළ අතර, එක් වසරක් තුළ රැස් කරන ලද ඉහළම ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 568.61ක් විය.
ආර්ථික අංශයේ අත්පත් කරගත් ස්ථාවරත්වය සහ සාර්ථකත්වය සහ රටේ දේශපාලන ස්ථාවරත්වය ආයෝජක විශ්වාසය ශක්තිමත් කර ඇත. මුදල් ස්ථාවරත්වය සහ අඩු පොලී අනුපාත තත්ත්වය මධ්‍යයේ රාජ්‍ය වියදම් අඩු කිරීම, බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාම, IMF ප්‍රතිසංස්කරණ වැඩසටහනට අනුගත වීම සඳහා මෙම ආණ්ඩුව දක්වන කැපවීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ කොටස් වෙළඳපොළ වර්ධනය ශක්තිමත් කර ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති අතර, ණය පැහැර හැරීමේ අවදානම ඉන් අවම වී නව නිකුත් කිරීම් කෙරෙහි විශ්වාසය වැඩි කර ඇත. තවද, 8.7xක වෙළඳපොළ මිල ඉපයුම් අනුපාතයක් සහිතව, ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළ වඩාත් මිල අධික සමීප වෙළෙඳපොළවලට සාපේක්ෂව ආකර්ශනීය විකල්පයක් ලෙස දිස්වේ.
සුවිශේෂී ප්‍රතිසංස්කරණ සහ ධනාත්මක ආර්ථික වර්ධන හමුවේ, ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ගෝලීය වශයෙන් ආයතනික ආයෝජකයින් සහ අරමුදල් කළමනාකරුවන් සඳහා අවස්ථා නිර්මාණය කිරීමට හිතකර වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල්, ආර්ථික දැක්ම, ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව ඇතුළු ආයෝජන අවස්ථා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන සැසි මාලාවකට සම්බන්ධ වීමට සහභාගිවන්නන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙම සැසි මඟින් වෙළඳපොළේ ශක්තිමත්භාවය සහ විභවය ඉස්මතු කරනු ඇති අතර, මෑත කාලීන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු කළ යටිතල පහසුකම් සහ තිරසාර ආයෝජන සඳහා සහාය වන ශක්තිමත් පරිසර පද්ධතිය ද ඒ හරහා විදහා දැක්වෙනු ඇත.
2025 ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස HNB ආයෝජන බැංකුව සහ ඒෂියන් සෙකියුරිටීස් කටයුතු කරයි.
කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ්, බාට්ලීට් රෙලිගෙයා සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම, CT CLSA සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම, ආශා සෙකියුරිටීස් ලිමිටඩ්, ෆස්ට් ගාඩියන් එකවිටීස් (පුද්ගලික) සමාගම, සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්ගලික) සමාගම සහ LOLC සෙකියුරිටීස් ලිමිටඩ් යන සමාගම් රිදී අනුග්‍රාහකයින් ලෙස එක්වී ඇත.
මෙම අවස්ථාව සහභාගීවන හවුල්කරුවන් වන්නේ සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය, ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය, ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC) සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයයි.
Video Story