April, 21, 2025
බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය 2024 වසර තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති 2024 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව පෙන්වා දේ. අදාළ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
වෙනස් වෙමින් පවතින ආර්ථික තත්ත්ව මධ්‍යයේ ණය ලබා දීම වඩාත් සුපරික්ෂාකාර්ව සිදු කිරීම සහ ණය සඳහා වූ අඩු ඉල්ලුම පිළිබිඹු කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය 2024 වසරේ මුල් කාලය තුළ දී අසමාන ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, 2024 වසරේ මැද භාගයේ සිට සාධක කිහිපයක බලපෑම හේතුවෙන් පෞද්ගලික අංශයට ලබා දුන් ණය තිරසාර සහ සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වීමක් පෙන්නුම් කළේය.
මෙහිදී, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව ලිහිල් කිරීම ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීම හේතුවෙන් ද්‍රවශීලතා තත්ත්වයන් වැඩිදියුණු වීම සහ ණය ගැනීමේ පිරිවැය අඩු වීම සිදු වූ අතර, එමගින් ව්‍යාපාර සහ පුද්ගලයින් යන දෙපිරිසට ම මූල්‍යන පහසුකම් ලබා ගැනීම දිරිගන්වන ලදී. මීට අමතරව, වර්ධනය වූ ව්‍යාපාරික විශ්වාසය මෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම ද විශේෂයෙන් ම 2024 මැයි මාසයේ සිට ණය වර්ධනය සඳහා දායක විය.
ඒ අනුව, 2023 වසර අවසානයේ වාර්තා කළ සංකෝචනය වීමට සාපේක්ෂව 2024 දෙසැම්බර් මාසයේ දී 10.7%ක වාර්ෂික ලක්ෂ්යමය වර්ධනයක් වාර්තා කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය 2024 වසර තුළ දී රුපියල් බිලියන 789.6කින් ඉහළ ගියේය. මේ අතර, අඩු පොලී අනුපාතික පරිසරය මධ්‍යයේ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය 2024 වසර අවසානය වන විට 2.5%ක වාර්ෂික ලක්ෂ්යමය වර්ධනයක් වාර්තා කරමින් 2024 වසර තුළ දී රුපියල් බිලියන 27.9කින් පමණ ඉහළ ගියේය. එසේ වුවද, මූල්‍ය අංශය තුළ ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීමේ සහාය ද සමඟ පාරිභෝගික ණය විශේෂයෙන් රන් සහ පෞද්ගලික ණය මෙන්ම වාහන ලීසිං සඳහා වූ ණය ඉල්ලුම ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතුකොටගෙන මුදල් සමාගම් විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය 2024 වසර අවසානය වන විට 21.0%ක වාර්ෂික ලක්ෂ්යමය වර්ධනයක් වාර්තා කරමින් 2024 වසර තුළ දී රුපියල් බිලියන 277.1කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

Video Story