ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් විදෙස් අධ්‍යාපනයට වාර්ෂිකව දරන වියදම ඩොලර් මිලියන 200ට ආසන්න වෙයි

    April, 21, 2025

    මෑත වසරවල දී විදේශ අධ්‍යාපනයට අදාළව දේශසීමා හරහා සිදුවන ගෙවීම්, ප්‍රතිපත්ති සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වී ඇති නමුත්, එවැනි ගෙවීම් පිළිබඳව වන විශ්වසනීය දත්ත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා බාධා ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙහිදී මහ බැංකුව සඳහන් කරන්නේ ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය හඳුන්වාදීමෙන් පසු, අධ්‍යාපන සේවා සඳහා දේශසීමා හරහා සිදුවන ගෙවීම් මාසිකව වාර්තා කරනු ලබන අතර, එමගින් වැඩි විනිවිදභාවයක් සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති තීරණ ගැනීම ප්‍රවර්ධනය කෙරෙන බවයි.

    කෙසේ වුවත්, එවැනි සේවාවන් සඳහා බැංකු නොවන මාර්ග භාවිතා කරමින් සිදුකරනු ලබන ගෙවීම් හේතුවෙන් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මගින් වාර්තා කරනු ලබන අගයයන් අසම්පූර්ණ විය හැකි බව සැලකිල්ලට ගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, ශ්‍රී ලාංකික ශිෂ්‍යයන විසින් විදේශ අධ්‍යාපනය සඳහා 2024 දී දරා ඇති සමස්ත වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 194.4 ක් බවයි.

    මෙය 2023 වසරේ දී ඒ වෙනුවෙන් දරා ඇති සමස්ත වියදම වූ ඩොලර් මිලියන 105.2ක වියදම හා සැසඳීමේ දී 85% ක ඉහළ යාමක් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද, වාර්ෂික ආර්ථික විවරණය 2024 හි මේ බව සඳහන් වේ.

    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.