July, 6, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම ඊයේ (05) දිනයේ දී ඉහළ යාමක් වාර්තා කරනු ලැබීය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 25.62 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය වාර්තා වුණේ ඒකක 6,280.39 ක් ලෙසිනි. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.41% ක ඉහළ යාමකි.
ඊයේ ගනුදෙනු අතරවාරයේ දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් පෙර දිනයේ (04) දී රු. 1.50 ක් දක්වා අවම මිලතට ගනුදෙනු වූ ජෝන් කීල්ස් Warrant කොටසක මිල, රු. 3.40 දක්වා විශාල මිල වර්ධනයක් සනිටුහන් කිරීමයි. පූර්ව දිනයේ (04) දී අවසාන ගනුදෙනු මිල හා සැසඳීමේ දී ඊයේ (05) ජෝන් කීල්ස් Warrant කොටසක මිල 88.89% ක වර්ධනයක් වාර්තා කර ඇත. මෙය මෑත කාලීන කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී දක්නට ලැබුණු දැවැන්ත මිල උච්ඡාවදනය වූ අවස්ථාවකි.
මේ අතර ඊයේ දිනයේ දී වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 254.69 ක්වූ අතර සුපුරුදු පරිදි විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉතා පහළ මට්ටමක තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.
දෛනික පිරිවැටුමෙන් විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 47.95 ක් ලෙසත් විදේශීය විකිණුම් රුපියල් මිලියන 24 ක් ලෙසත් වාර්තා විය. මෙහිදී දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 206.74 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 230.68 ක් ලෙසින් සටහන් වී තිබුණි.
Video Story