මන්නාරමේ තෙල් ගවේෂණයට යෝජනා කැඳවයි

    May, 8, 2025

    2011 වසරේදී කෙයාර්න් ලංකා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ලද ගවේෂණ හා කැණීම්වලට අනුව, මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ බිම් කොටසින් ස්වභාවික වායු නිධි 02ක් සොයා ගෙන ඇති අතර, එමඟින් මන්නාරම් ද්‍රෝණිය තුළ ශක්‍ය හයිඩ්‍රොකාබන් පද්ධතියක් පවතින බව සනාථ වී තිබේ.
    2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ විධිවිධාන අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ රෙගුලාසි මඟින් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව අක්වෙරළ ඛනිජතෙල් හා ස්වභාවික වායු ගවේෂණ බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.
    ඒ අනුව, මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 04හි ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමටත්, එම කාර්යය සඳහා ඵලදායී අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු අලෙවිකරණ උපදේශකයෙකුගේ සේවය ලබා ගැනීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.