May, 20, 2025
ශ්‍රී ලංකා විදේශ සේවාවල නම් කරන ලද තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් විදේශ රටවල සේවයට පිටත්ව යාමට පෙර තමන් සේවයේ නිරත වීමට නියමිත රටවල ආයෝජකයින් මෙරට ආයෝජනය සදහා ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්ම කෙරේ.මේ සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත් මහතා ඇතුළු ආයෝජන මණ්ඩලයේ ඉහල නිළධාරීන් මෙම පිරිස මුණ ගැසී මෙරටට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය වේගවත් කිරීමට ඇති නව අවස්ථා පිළිබදව සාකච්චාවක නිරත වූහ.
විදේශ අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාව සදහා විදේශ අමාත්‍යාංයේ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දිසානායක, ඉන්දියාව වෙනුවෙන් පත්ව ඇති නව මහකොමසාරිස්වරිය මහිෂා කොලොන්නේ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙස පත් කර ඇති ජයන්ත ජයසූරිය,දකුණු අප්‍රිකාවේ නව මහකොමසාරිස් උදේනි රාජපක්ෂ, ජපානය වෙනුවෙන් පත්වන තානාපති මහාචාර්ය ජනක කුමාරසිංහ,පාකිස්තාන නව මහකොමසාරිස් රියර්අද්මිරාල් ෆෙඩ් සෙනෙවිරත්න,එක්සත් අරාබි එමිරේට් හි නව තානාපති මහාචාර්ය අරුෂ කුරේ,එක්සත් රාජධානියේ නව මහකොමසාරිස් ලෙස එස්.ඩී.එන්.යූ. සේනාධීර හා කියුබානු නව තානාපති මහින්දදාස රත්නායක යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා මෙහිදී අදහස් දක්වමින්, අපනයනය විවිධාංගීකරනණය, ඉලක්කගත නව අලෙවිකරණ මුලපිරීම්වල අවශ්‍යතාවය සහ විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගත හැකි දිරිගැන්වීම් ස්ථාපිත කිරීම පිළිබඳව ද පුළුල් ලෙස අදහස් දැක්වීය. වර්ථමානයේ ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථිකයේ හවුල්කාරිත්වය සහ ආයෝජන සඳහා අවස්ථා නිර්මාණය කිරීම වෙනුවෙන් තම ජාල උපයෝගී කර ගන්නා ලෙස තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව මෑත කාලීන ආර්ථික වර්ධනයන් සහ ආර්ථික දර්ශකවල සැලකිය වර්ධනයක් අත්කරගෙන ඇත. පුරෝකථනය කරන ලද 4.4% ඉක්මවා ගිය සහ 5%ක වර්ධනයක් අත්කර ගන්නට සමත් වී ඇත. මීට සමගාමිව පශ්චාත් ආර්ථික අර්බුදකාරී කාලපරිච්ඡේදය තුලදී සංචාරක හා ඉදිකිරීම් වැනි අංශවල වඩා හොඳ කාර්ය සාධනයක් පෙන්නුම් කරයි.
නව තානාපතිවරුන් හමුවේ එම රටවල් හා ආයෝජන කාර්යන් සිදුකරන සියළුම ආයෝජන මණ්ඩල නිළධාරීන් මෙම සාකච්චාවට එක් වූ අතර තානාපතිවරයා හා එම රටට අදාල ආයෝජන මණ්ඩල නිළධාරියා අතර සාකච්චා පැවැත්විණි.එම රටවලට අදාල ආයෝජන අවස්ථා, පවතින ගැටළු හා නව ආයෝජන මානයන් පිළිබදව මෙහිදී සාකච්චා පැවැවිණි.
මේ වනවිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවත්වාගෙන යනු ආයෝජන මණ්ඩල කලාප 15 ට අමතරව, විවිධ ප්‍රදේශ තවත් කලාප පහක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටී .
කන්කසන්තුරෙයි (KKS) නිෂ්පාදන කලාපය විවිධාංගීකරණය සඳහා විභවයක් සහිත ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරයි. පරන්තන් - රසායනික කලාපය යනු ආයෝජන මණ්ඩල සහ පරන්තන් රසායනික සමාගම් සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන අතර එය රසායනික නිෂ්පාදන සහ ඒ ආශ්‍රිත අංශ කෙරෙහි අවධානය යොමු කරයි.
මාන්කුලම් - කෘෂිකාර්මික කලාපය කෘෂිකාර්මික අංශයේ අගය එකතු කිරීම වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් වී, කිරි සහ ධීවර කටයුතු වැනි දේශීය කෘෂිකාර්මික සම්පත් භාවිතා කරයි. යටිතල පහසුකම් සංවර්ධනයට කලාපයට දුම්රිය මාර්ගය සැලසුම් සහගතව දිගු කිරීම ඇතුළත් වේ.
ඉරණවිල - සංචාරක කලාපය සංචාරක හා විවේක ආශ්‍රිත සංවර්ධනය ඉලක්ක කර ගෙන ඇත. ත්‍රිකුණාමලය - බලශක්ති සහ සැපයුම් මධ්‍යස්ථානය බලශක්ති සැපයුම්, ත්‍රිකුණාමලය වරාය තෙල් ගබඩා පහසුකම් සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
තොරතුරු තාක්ෂණය සහ නවෝත්පාදන පාදක කර්මාන්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඩිජිටල් සෘජු විදේශ ආයෝජන සඳහා කොටසක් නිර්මාණය කිරීමේ ආරම්භක පියවරක් ලෙස, කුරුණෑගල සහ ගාල්ල යන ප්‍රදේශවල නව තාක්ෂණ උද්‍යාන දෙකක් සැලසුම් කර ඇත. 2025 අවසාන කාර්තුවේදී දියත් කිරීමට නියමිත තාක්ෂණික උද්‍යාන සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘති මත පදනම් වූ ක්‍රමවේදය සලකා බලනු ලැබේ.
Video Story