May, 27, 2025
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම සඳහා සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව ආරක්ෂා කරමින් මෑත අතීතයේ දී මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගැනීමේ දී ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වය පිළිබිඹු කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම සඳහා 2025 මැයි 23 වන දින කොළඹ දී මූල්‍ය ස්ථායීතා සමුළුව පැවැත්වීය.
කලාපීය සහ ජාත්‍යන්තර විශේෂඥතාව ඒකාබද්ධ කරමින්, මූල්‍ය ස්ථායීතා අභියෝග සහ ප්‍රතිපත්ති ප්‍රතිචාර පිළිබඳ අත්දැකීම් සහ අවබෝධයන් බෙදා ගැනීමට මෙම සමුළුව වටිනා අවස්ථාවක් ලබා දුන් අතර, එමගින් දේශීය මෙන්ම විදේශීය වශයෙන් සහභාගී වූ පාර්ශවකරුවන්ට ප්රතිලාභ හිමි විය.
මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයන්, මූල්‍ය ස්ථායීතා මණ්ඩලයේ (Financial_Stability Board) ගෝලීය සහ කලාපීය නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ හා කලාපයේ නියාමන අධිකාරීන්, මූල්‍ය ආයතන, මූල්‍ය පද්ධතිය නියෝජනය කරන සංගම්, පෞද්ගලික අංශයේ සංවිධාන සහ ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහභාගී විය.
විදේශීය මහ බැංකු හා මූල්‍ය ස්ථායීතා අධිකාරීන්, ගෝලීය අධ්‍යයන හා වෘත්තීය ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් හා හිටපු නිළධාරීන් නියෝජනය කරමින් ජාතික සහ ජාත්‍යන්තර විශේෂඥයින්, මෙම සමුළුවේ සම්භාවනීය කථිකයන් අතරට ඇතුළත් විය.
මෙම සමුළුවේ දී මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ ප්‍රධාන තේමාවන් ආවරණය වන පරිදි මණ්ඩල සාකච්ඡා සහ ප්‍රශ්නෝත්තර සැසි පැවැත්විණි.
සාකච්ඡා කරන ලද මාතෘකා අතර නියාමනය සහ අධීක්ෂණය, සාර්ව විචක්ෂණ ප්‍රතිපත්තිය, අර්බුද කළමනාකරණය සහ විසඳුම් සහ දේශගුණික අවදානම් හා තිරසර මූල්‍යකරණය ඇතුළත් විය.මූල්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහයන්හි සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම සමුළුවට සහභාගී වූ සියලුම දෙනාට සහ සම්පත්දායකයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව සිය කෘතඥතාව පළ කරයි.
Video Story