June, 2, 2025
මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත්ව තිබෙන කැම්සා සන්නාමය යටතේ වන Off-Highway ඉදිකිරීම් උපකරණ ටයර් සහ ට්‍රැක් නිෂ්පාදන ව්‍යාපාරය මිල දී ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සීමාසහිත සියැට් සමාගම, මිචලින් ලංකා (පුද්ගලික) සමාගම සමග නිශ්චිත ගිවිසුමකට එළඹී ඇති බව 2024 දෙසැම්බර් මස දී නිවේදනය කරන ලදි. එම ගිවිසුමට අනුව මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත් මිදිගම කර්මාන්තශාලාව, කොටුගොඩ පිහිටි කාස්ටිං කර්මාන්තශාලාව සහ එම සමාගම සතු අනෙකුත් මධ්‍යගත සේවා සපයන අංශවල කොටස් කිහිපයකුත් සියැට් සමාගම සතු වනු ඇත.
තම පරිපාලනය යටතේ මෙම කර්මාන්තශාලාවල දැනට සේවයේ යෙදෙන සේවක මහත්ම මහත්මීන්ගේ රැකියා සියල්ල මුළුමනින්ම සුරක්ෂිත බව ඉහත කී කර්මාන්තශාලා පවත්වාගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සීමාසහිත සියැට් සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියැට් ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම අවධාරණය කර සිටී. මිල දී ගැනීමෙන් පසුව සිදු වන සංක්‍රාන්තිය, සේවක මහත්ම මහත්මීන්ගේ රැකියා සුරක්ෂිත භාවය සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙමින් සුමට හා විනිවිද භාවයෙන් යුතුව සිදු විය යුතු බව සමාගමේ දැඩි විශ්වාසයයි.
ඒ අනුව මෙම ක්‍රියාවලිය අතරතුර, සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සියැට් ඕඑච්ට ලංකා (පුද්ගලික) සමාගම, මිචලින් ලංකා (පුද්ගලික) සමාගම සහ අන්තර් සමාගම් සේවක සංගමය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට 2025 මැයි මස 22 වන දින අත්සන් තබන ලදි. සේවක මහත්ම මහත්මීන්ගේ 100% රැකියා සුරක්ෂිත භාවය, මිචලින් සමාගමේ පෙර සේවා කාලයේ අඛණ්ඩතාව, ජ්‍යේෂ්ඨත්වය සහ වැටුප් හා වරප්‍රසාද අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම අවබෝධතා ගිවිසුමෙන් තහවුරු කර ඇත.
සේවක තෘප්තිමත් භාවය සහ ඔවුන්ව රැකබලා ගැනීම පූර්ණ අභිලාෂය කරගත් සියැට් සමාගම මෙම ගිවිසුමේ කොන්දේසි සර්වප්රකාරයෙන් සපුරාලීමට කැප වී සිටින අතර රටවල් 120කට අධික ප්‍රමාණයක් පුරා විහිදුණු තම ව්‍යාපාරික ජාලය හා අනෙකුත් සියලු සම්පත් උපයෝගී කරගනිමින් නව ව්‍යාපාර කටයුතුවල ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගැනීමට ද කැප වී සිටින බව අවධාරණය කරනු ලබයි.
ඉන්දියාවේ RPG සමූහ ව්‍යාපාරයට අයත් මුම්බායි කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සීමාසහිත සියැට් සමාගම කාර් ටයර්, බස් හා ට්‍රක් ටයර්, මෝටර් සයිකල් හා ස්කූටර් ටයර් සහ Off-Highway ටයර් නිෂ්පාදනය කරන ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ප්රමුඛපෙළේ සමාගමකි. ඉන්දියාවේ ගෘහස්ථ වෙළඳපොළට මෙන්ම රටවල් 120 කට අධික ප්‍රමාණයකට ටයර් අපනයනය කරනු ලබන සියැට් සමාගම පූර්ණ තත්ත්ව කළමනාකරණය (Total Quality Management) වෙනුවෙන් පිරිනමනු ලබන, ලෝකයේ ඉතාමත්ම කීර්තිමත් සම්මානයක් වන Deming Grand Prize දිනා ඇති ලෝකයේ සමාගම් 33 අතරට එක්ව සිටී. තව ද එය Industry 4.0 තාක්ෂණික අනුවර්තනය වෙනුවෙන් World Economic Forum හෙවත් ලෝක ආර්ථික සංසදය විසින් ලබා දෙන "Light House Designation" ලබා ඇති ලෝකයේ එකම ටයර් සමාගම ද වේ.
(වෙබ් අඩවිය: www.ceat.com)
Video Story