මුල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබෙන්නේ කවදාද?

    June, 3, 2025

    ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමෙන් අනතුරුව මේ වන තෙක් මෙරටට ලැබීමට නියමිත 4 වන වාරිකය නොලැබීමට හේතුව මෙතෙක් IMF විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීම නොතිබීම බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (02) පැවති "දෙරණ 360" සජීවී සංවාදාත්මක වැඩසටහනට එක් වූ අවස්ථාවේ දී යි.

    තව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා කිසිවක් මෙරට රජය විසින් කඩකර නොමැති බවයි.

    "ප්‍රශ්නය - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවෙනි ඇගයීමෙන් පස්සේ අපිට ලැබීමට නියමිතව තිබෙන 4 වන වාරිකය මේ වන තෙක් අපට ලැබිලා නැහැ. මොකද අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය අපිට ලැබිලා නොමැති නිසා. දැන් තියන තත්ත්වයත් එක්ක මේ හතරවෙනි වාරිකය ලංකාවට ලැබෙන්න කොපමණ කාලයක් යයි ද?"

    "පිළිතුර - හතරවෙනි වාරිකය ලැබුනෙ නැහැ නෙවෙයි. තාම විධායක අධ්‍යක්ෂක මණ්ඩලයෙ රැස්වීම තිබුණේ නැහැ. ඒ රැස්වීම තියෙන්න බොහෝ දුරට නියමිතයි. ජුනි මාසයේ අග තමයි මේ රැස්වීමේ දී විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ. එතනදී තමයි අපිට ඒ අනුමැතිය ලැබෙන්නේ. එතකොට එතන දී ඒගොල්ලෝ සාකච්ඡා කරන දේවල් තමයි, අපි කවුරුත් දන්නවා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ, අපි එකඟ වුණු staff level agreement එකේ කරුණු කාරණා. ඒ කිසිදු කරණු කාරණාවක් අපි බිඳලා නැහැ. මේ ජාත්‍යන්තර මූල්‍ය වැඩසටහන් කරුණු ඇතුලේ ඉන්නේ. නමුත් ඒ තොරතුරු ඉදිරිපත් කිරීමේ දී මේ පිරිවැය ඒ කියන් cost recovery basis utility නැත්නම් electricity pricing කියන කාරණයෙ දි, පිරිවැය ආවරණය කරගන්න කියන කාරණයේ දී, යම් පිරිවැය ආවරණය කර ගැනීමේ සූත්‍රයක් අපි ඉදිරිපත් කරලා තියනවා. tariff methodology එකක්. "