අයිතිය වෙනස් වූ වාහන ලියාපදිංචියට සහන කාලයක් හා සහන ගාස්තුවක්

    July, 13, 2016

    ලියාපදිංචි අයිතිකරු මාරු වී බොහෝ කාලයක් ගත වී ඇති වාහනවල පැවරීම ලියාපදිංචි කිරීමකින් තොරව මුල් අයිතිකරු නමින්ම භාවිතා කිරීම හා විවෘත පැවරීම් ලේඛන මත විවිධ පුද්ගලයන් අතර වාහන හුවමාරු වීම හේතුවෙන් රජයට අයවිය යුතු පැවරීම් ගාස්තු ඇතුළු විශාල ආදායමක් අහිමි වන අතර නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලටද ඒ හේතුවෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බව රජය නිවේදනය කර සිටී.

    මෙම ප්‍රවණතාව අවම කිරීමේ අරමුණින් 2011 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (ගාස්තු) නියෝග මඟින් ප්‍රමාද ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන ලද නමුත් එමඟින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    එබැවින්, සන්තකය මාරු වී ඇති නමුත් නියමිත කාලය තුළ පැවරීම ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කර නොමැති වාහන, පැවරීම ලියාපදිංචි කිරීම පිණිස මාස තුනක සහන කාලයක් සහ එහිදී ගෙවිය යුතු අතිරේක ගාස්තුව සම්බන්ධයෙන් සහනයක් ලබා දීම මඟින් එවැනි වාහන පැවරීම් ලියාපදිංචි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.