July, 13, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව 6 වන දිනයටත් අද දිනයේ දී ඉහළ යන ලදී. දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 1.47 කින් ඉහළ ගොස් ඒකක 6,402.78 ක් ලෙසින් වාර්තා විය.
අද දිනය තුළ කැපී පෙනුණු සිද්ධිය වූයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියනය සීමාව පසුකර යාමයි. වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුමෙහි සාමාන්‍ය රුපියල් මිලියන 736 ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර මේ තත්ත්වය තුළ අද දිනයේ දී රුපියල් මිලියන 1,275 ක පිරිවැටුමක් වාර්තා වීම සුවිශේෂී කරුණක් ලෙසින් දැක්විය හැකිවේ.
අද දින පිරිවැටුම මෙලෙසින් විශාල අගයයක් ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවූයේ බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් පීඑල්සී හි සිදු වූ කොටස් ගනුදෙනුවකි. එහිදී සමාගමේ කොටස් 78,690,212 ක් රු. 7.00 බැගින් ගනුදෙනු වූ අතර රුපියල් 543,994,584.00 ක පිරිවැටුමක් එයින් ජනණය වී තිබිණි.
දිනය තුළ මිල ඉහළ ගිය සමාගම් අතුරින් බ්ලූ ඩයමන්ඩ් හා අලුෆැබ් සමාගම් කැපී පෙනුණි. මෙහිදී බ්ලූ ඩයමන්ඩ් ඡන්ද බලය රහිත කොටසක් සත 60 සිට සත 80 දක්වා 33.33% කින්ද, බ්ලූ ඩයමන්ඩ් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටසක් රු. 1.80 සිට රු. 2.20 දක්වා 22.22% කින් ද, අලුෆැබ් සමාගමේ කොටසක මිල රු. 43.70 සිට රු. 52.10 දක්වා 19.22% කින් ද ඉහළ යනු ලැබීය.
අද දින පිරිවැටුමෙන් රුපියල් මිලියන 993.54 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත් රුපියල් බිලියන 1.2 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා විය. අද දිනයේ දීද විදෙස් ආයෝජකයින්ගේ දායකත්වය ගනුදෙනු සඳහා සාපේක්ෂව පහළ මට්ටමක පැවති අතර දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 281.94 ක් සහ විදේශීය විකිණුම් රුපියල් මිලියන 69.79 ක් ලෙසින් වාර්තා විය.
Video Story