දින 05කට පසු කොටස් වෙළෙඳපොළ යළි නැගිටියි

    June, 20, 2025

    අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වූ අතර එලෙස කොටස් වෙළෙඳපොළ ඉහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 05 ක කඩා වැටීමකින් පසුව වීම විශේෂත්වයකි.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 269.74කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 17,087.95 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 80.13කින් ඉහළ ගොස් ඒකක 5,099.28ක් ලෙසත් සටහන් විය.

    අද දින සමාගම් 177ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණු අතර එහිදී සෙලින්කෝ හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, හේලීස්, HNB හා කොමර්ෂල් බැංකුව යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දෙන්නට සමත් වී තිබුණි.

    රු. බිලියන 2.5ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.37ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.33 ක් ලෙසින් සටහන් වී තිබුණි. මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 123ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 165ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.