July, 14, 2016
ශ්‍රී ලංකාව සහ කොරියනු රජය අතර පවත්නා ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් කොරියානු ජනරජ ආණ්ඩුව, කොරියානු අපනයන - ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට අදාළ ගිවිසුමකට ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ කොරියානු තානාපති වොන්-සෑම් චැන් මහතා විසින් අත්සන් කිරීම සිදු කෙරුණි.
මෙම ණය ආධාර සඳහා, පොළී අනුපාතය 0.15% - 0.20% වන අතර වසර 10 සහන කාලයක් සහිතව වසර 40කින් ගෙවා නිමකළ යුතුය. ඊට අමතරව, මනා සම්බන්ධීකරණයකින් යුතුව ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම උදෙසා කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත කාර්යාලයක්, එහි සභාපතිතුමන් විසින් 2016 ජනවාරි මස කොළඹ දී විවෘත කරන ලදී.
ඒ අනුව, 2015 දෙසැම්බර් මාසයේ දී දෙරට රජයන් අතර පැවැත්වූ ප්‍රතිපත්ති සාකච්ඡාවන්හිදී එකඟවූ ව්‍යාපෘතින් වෙනුවෙන් 2016 – 2018 කාලපරිච්ඡේදය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 300 ණය මුදලක් ඉහත අරමුදල හරහා ලබා ගැනීම සඳහා කාර්යරාමු එකඟතාවයකට එළඹීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය, මහනුවර නාගරික ප්‍රවාහන ජාලය දියුණු කිරීම, ජාතික මාර්ගගත (online) අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම, භූවිද්‍යා තොරතුරු පද්ධතියක් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට හඳුන්වා දීම, විද්‍යුත් නිෂ්කාශන හා බදු ක්‍රමවේදයක් ශ්‍රී ලංකා රේගුවට හඳුන්වා දීම, කුඩා ප්‍රමාණයේ ජලපිරිපහදු පද්ධති ඉදිකිරීම සහ ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ රථ ලබාගැනීම වැනි අංශ මේ සඳහා හඳුනාගෙන ඇත.