June, 24, 2025
දිනෙන් දින උණුසුම් වෙමින් පවතින මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් හමුවේ, ලොව පුරා කොටස් වෙළෙඳපොළ සියල්ලකගේම පාහේ හැසිරීම ද, පවතින ගැටුම්කාරී වාතාවරණය හා සමගාමී හැසිරීමක් පෙන්නුම් කරමින් සිටී.
ඊයේ (23) රාත්‍රිය වන විට මැදපෙරදිග කලාපයේ කටාර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් ගණනාවකටම එහි උණුසුම දැනෙන්ට වුවද, අද (24) පෙරවරුව වන විට ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකග වීමත් සමගින් පවතින යුධමය වාතාවරණයේ සමනය වීමක් කෙටිකාලීනව හෝ දැකගත හැකිව තිබේ.
මෙම වාතාවරණය හමුවේ ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක්ම කැපීපෙනෙන ලෙස අද දිනයේ දී ඉහළ යනු දක්නට ලැබුණි.
මීට සමගාමීව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් හුවමාරුවේ ද කැපීපෙනෙන වර්ධනයක් අද දිනයේ දී වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 425.80කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 17,191.20 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 142.72කින් ඉහළ ගොස් ඒකක 5,133.90 ක් ලෙසින් සටහන්ව තිබුණි.
කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප්, හේලීස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාමන් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණු අතර අද දින සමාගම් 209ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණි.

රු. බිලියන 5.20 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනය තුළ වාර්තා විය.
විදෙස් ආයෝජකයින්ගෙන් අල්ප දායකත්වයක් දක්නට ලැබුණු අද දිනයේ දී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 5.05 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.01 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 153 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 195 ක් ලෙසින් වාර්තා වුණි.
මේ අතර අද (24) පස්වරුව වන විට ලෝකයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ ගණනාවක තත්ත්වය පහත දැක්වෙන අතර ඉන්දියාවේ GIFT NIFTY දර්ශකය හැරෙන්නට සෙසු සෑම වෙළෙඳපොළකම ඉහළ යාමක් එහිදී දැකගත හැකිය.

Video Story