June, 25, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 17,500 සීමාව නැවත වරක් අභිබවා යන ලදී.
ඉතිහාසයේ පළමු වරට පසුගිය ජූනි 09 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,500 අභිබවා ගොස් තිබුණු අතර ඉන් ගනුදෙනු දින දෙකකට පසු එනම් ජූනි 12 දින ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වූ ඒකක 17,661.5 වෙත එය ළඟා විය. කෙසේවෙතත් ඉන්පසු පසුගිය දින කිහිපය පුරාවට සිදුවූ වෙළෙඳපොළ කඩා වැටීම හමුවේ පසුගිය ජූනි 23 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,765 ක් දක්වා පහළ ගියේය.
කෙසේවෙතත් මැදපෙරදිග යුධමය වාතාවරණ හේතුවෙන් පැවති ගෝලීය අවිනිශ්චිතතාව, ඊශ්‍රායල - ඉරාන සටන් විරාමයත් සමඟින් සමනය වීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙසින් ආයෝජක විශ්වාසය ඉහළ යාම හමුවේ ඊයේ සහ අද දෙදින තුළ පිළිවෙලින් ඒකක 425.80 ක් හා ඒකක 344.42 ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ යන ලදී. ඒ අනුව ඊයේ සහ අද දෙදින තුළදී කොටස් වෙළෙඳපාළේ 4.53% ක වර්ධනයක් වාර්තා වේ.
රු. බිලියන 5.89ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 5.71 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.47 ක් ලෙසින් සටහන් වන අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 180 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 421 ක් ලෙසින් සටහන්ව ඇත.
Video Story