July, 15, 2016
ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ ක්‍රියාත්මක BOV Capitals සංවිධානය, ශ්‍රී ලාංකේය අංකුර ව්‍යවසායකයන් සඳහා රු. බිලියන 2ක් ආයෝජනය කරන බව පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකේය අංකුර ව්‍යවසායකයන් හට කලාපීය සහ ගෝලීය වශයෙන් අවස්ථා හිමිකර දීම සඳහා BOV Capital සංවිධානය ආරම්භ කෙරිණි. මෙය අංකුර ව්‍යවසායන්හි ආරම්භක අදියර ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකවන මෙරට ප්‍රථම ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල වේ. මෙරට කීර්තිමත් ආයෝජකයන් සහ ව්‍යවසායකයන්වන ප්‍රජීත් බාලසුබ්‍රමනියම්, එරික් වික්‍රමනායක සහ රාජන් ආනන්දන් යන මහත්වරුන්ගේ හවුල්කාරිත්වයෙන් යුතුව BOV Capital සංවිධානය ක්‍රියාත්මක වේ.
රු. මිලියන 100-200 අතර ප්‍රමාණයකින් ව්‍යවසාය සඳහා ආයෝජනය කිරීම BOV Capital සංවිධානයේ ඉලක්කයයි. කලාපීය සහ ගෝලීය වශයෙන් වර්ධනය කළ හැකි තාක්ෂණික අංශයේ ශ්‍රී ලාංකේය අංකුර ව්‍යවසාය සඳහා ආයෝජනය කරමින් ඔවුන් සමග සමීපව කටයුතු කිරීම මෙම ආයෝජනය හරහා සිදු වේ.
ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ සමාගම් හා ප්‍රාරම්භක හවුල්කරුවන් මගින් රු. බිලියන 2 ක මුදල ආවරණය කෙරේ.
"පසුගිය වසර 5 ක කාලය පුරා ශ්‍රී ලංකාවේ අංකුර ව්‍යවසායකයන් රැසක් බිහි වීමේ ප්‍රවණතාවක් ඇති වුණා. ශ්‍රී ලංකාවේ සවිමත් අධ්‍යාපනික ක්‍රමවේදය මෙරට තුළ ලෝක මට්ටමේ ඉංජිනේරු ශිල්පීන් බිහි කිරීමේ පදනම සකස් කර තිබෙනවා. මෙවැනි කුසලතාපූර්ණ, ගෝලීය අත්දැකීමෙන් පිරිපුන් පරිගණක විද්‍යා සහ ඉංජිනේරු ශිල්පීන් හට කලාපීය සහ ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකළ හැකි මෘදුකාංග සහ අන්තර්ජාල සමාගම් බිහි කිරීමේ හැකියාව පවතිනවා." ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා සඳහන් කළේය.
ශක්තිමත් කාර්යමණ්ඩලයකින් සමන්විත ශ්‍රී ලාංකේය වෙළඳපල ඉක්මවා ගෝලීය වෙළඳපල ජය ගැනීමේ හැකියාවෙන් යුතු අංකුර ව්‍යවසායකයන් වෙනුවෙන් මෙම අරමුදල ආයෝජනය කෙරේ. අසමසම තාක්ෂණයෙන් සහ පාරිභෝගික අගනාකම් රැක ගැනීමේ හැකියාවෙන් යුතු වීම මෙම ආයෝජනය සඳහා සලකා බැලෙන මූලික නිර්ණායක වේ.
ඉන්දියාවේ ප්‍රමුඛත ම බැංකුවක්වන Ambit Finvest බැංකුව BOV Capital සඳහා සහයෝගය ලබා දෙයි. එම බැංකුවේ ව්‍යුහගත මුල්‍යයන සහ පුද්ගලික සම්පත් අංශයේ ප්‍රධාන විධායක නිලධාරී රිෂිකේෂ් පරන්දෙකාර් මහතා ප්‍රකාශ කළේ BOV Capital අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් අවධානයට ලක් නොවුණු අංශයක් වෙත බවය. "ශ්‍රී ලංකාව සතුව ඉතා අගනා තාක්ෂණ ව්‍යවසාය රැසක් පැවතියත් ඔවුන්ට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා සීමිත වී තිබෙනවා. BOV Capitalහි ප්‍රාරම්භක සාමාජිකයන් සතුව අංකුර ව්‍යවසාය තුළ ආයෝජනය කිරීම සහ ඒවා වැඩිදියුණු කිරීම පිළිබඳ අත්දැකීම් රැසක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ "නව්‍ය ආර්ථික" සමාගම් කෙරෙහි අවධානය යොමු කර ඇති ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ආයෝජකයන් රැසක් BOV Capital සඳහා විශාල වශයෙන් ආයෝජනය කරනවා."
BOV Capital මගින් සිදු කරන මෙම ආයෝජනය මෙරට ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇත.