July, 2, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්රියාකාරීත්වයෙහි ඉහළ වර්ධනයක් අද (02) දින දක්නට ලැබුණු අතර නව වාර්තාවක් ද සමඟින් නැවත වරක් සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට අද සමත්විය.
ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.06කින් ඉහළ ගොස් ඒකක 18,141.79ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 19.15කින් ඉහළ ගොස් ඒකක 5,362.12ක් ලෙසින් සටහන්ව තිබුණි.
ප්‍රධාන වශයෙන් අද දිනයේ දී දැකගත හැකි වූ සුවිශේෂී සිදුවීම වූයේ කළම්බු ඩොක්යාර්ඩ් සමාගමේ කොටස් මිල දැවැන්ත ලෙස ඉහළ යාමයි. පසුගිය ජූනි 27 දින එම සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබුණේ එහි පාලක කොටස් හිමියා වන ජපානයේ Onomichi Dockyard Company Limited විසින් සිය කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ Mazagon Dock Shipbuilders Limited වෙත අලෙවි කිරීමට තීරණය කළ බවයි.
කෙසේවෙතත් එම ගනුදෙනුව පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය නොවූ බැවින් කළම්බු ඩොක්යාඩ් සමාගමේ කොටස් ගනුදෙනු, පසුගිය ජූනි 30 දා සිට අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන තිබුණි. ඉන් අනතුරුව එම අත්හිටුවීම අද දිනයේ දී මුදාහැරී අතර එහි කොටස් මිල දිනය තුළ රු. 70.10 සිට රු. 113.50 ක් දක්වා 61.91% ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කිරීම දිනය තුල වාර්තා වූ සුවිශේෂී සිදුවීමක් විය.
කළම්බු ඩොක්යාර්ඩ් සමාගම ඇතුළුව, CT හෝල්ඩිංග්ස්, ඇක්සෙස් ඉංජිනියරින්ග්, RIL ප්‍රොපටීස් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම්වල කොටස් මිල ඉහළ යාම් අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් දිනය තුල ලබා දී තිබුණි.
රු. බිලියන 7.8ක සාපේක්ෂව දැවැන්ත පිරිවැටුමක් අද දිනය තුළ වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 7.71 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 7.49 ක් ලෙසින් වාර්තා වී ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 90 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 314 ක් ලෙසින් සටහන්ව ඇත.
Video Story