වසරේ ගත වූ කාල සීමාව තුළ ට්‍රිලියනයක් ඉක්ම වූ ආදායමක් රේගුවට

    July, 4, 2025

    ජූලි 3 වන දිනෙන් අවසන් වූ වසරේ ගත වූ කාල සීමාව තුළ රුපියල් ට්‍රිලියනයක් ඉක්ම වූ එනම් රුපියල් බිලියන 1000ක් ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

    ඊයේ (3) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසා සිටියේ ය.

    ඒ අනුව මෙම වසරේ දී රජය ලබාදී ඇති ආදයම් ඉලක්කය වන ට්‍රිලියන 2.115ක් වන ආදායම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බව ද ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ය.

    "අද වන විට මේ වසරේ මාස 6ක් ගතවෙලා තියෙන්නේ. ජූලි 3 වනදා වන විට අපි රුපියල් ට්‍රිලියනයක් ඉක්මවා ඒ කියන්නේ රුපියල් බිලියන 1000ක් ඉක්මවා අපගේ ආදායම එකතු කරගෙන තියනවා. මේ වසරේ දී රජය විසින් අපට දීලා තියන අදායම් ඉලක්කය බිලියන 2115ක්. ඒ කියන්නේ ට්‍රිලියන 2.115ක්. ඉතින් අපි ඉතාමත් සතුටින් කියන්න කැමති මේ වසරේ දී රේගුවට හිමිවෙලා තියන ආදායම ඉක්මවා බදු ආදායමක් එකතුකරගන්න අපට හැකි වෙයි කියලා. වාහන ආනයනය සඳහා රජය විසින් අවසර දීමෙන් පසු ඊයේ වන විට මෝටර්රථ වාහන 18,000කට අදික ප්‍රමාණයක් ආනයනය කරලා තිබුණා. මේ තුළින් රජයට අපි තීරුබදු වශයෙන් රුපියල් බිලියන 220ක් ඉක්මවන මුදලක් අපි අයකරගෙන තියනවා."