July, 11, 2025
2025 ජුලි මස 8 සහ 9 දෙදින තුළ දී මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර් හි දී සිව්වැනි වාර්ෂික ශ්‍රී ලංකා කෝපි උත්සවය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) විසින් සාර්ථක අන්දමින් පවත්වන ලද්දේ ඔස්ට්‍රේලියාවේ මාකට් ඩිවෙලොප්මන්ට් ෆැසිලිටි (MDF) ආයතනය සහ ලංකා කෝපි සංගමය (LCA) සමග හවුල්කාරිත්වයෙන් යුතුව ය. ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයට වසර 200ක් සපිරීම සමරමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) විසින් නිල සමරු තැපැල් මුද්දරයක් ද නිකුත් කළේ ය. මෙම උත්සවයේ දී කෝපි ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමෙහි ලා සුවිශේෂී ඉලක්ක හා ප්‍රතිපල උදෙසා සැලසුම් හා මගපෙන්වුම් අඩංගු ක්‍රමවේදයක් (roadmap) පිළිබඳ MDF සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම ද ප්‍රකාශයට පත් කෙරිණ.
කෝපි
අඛණ්ඩව සිව් වැනි වරටත් පවත්වන ලද ශ්‍රී ලංකා කෝපි උත්සවය කියා පෑවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත යළි පිබිදෙන බවයි. ශ්‍රී ලංකාවේ කෝපි වගාවට වසර 200 සපිරීමේ සුවිශේෂී අවස්ථාව ද මෙම උත්සවය මගින් සනිටුහන් විය. දිවයිනේ නන් දෙසින් ඊට සහභාගි වූ කෝපි පිළිබඳ ලැදියාවක් දක්වන්නන්ගේ, කර්මාන්තයේ ප්‍රමුඛයන්ගේ, සහ පාර්ශ්වකරුවන්ගේ දැඩි අවධානය දිනා ගැනීමට ඉහත සියලු කාරණා හේතු විය.
තීරණාත්මක මොහොතකට එළඹ සිටින කෝපි කර්මාන්තයට රජයේ සැලකිය යුතු අවධානය හිමි ව ඇත. මෙවරත්, කෝපි ක්ෂේත්‍රයේ පුනර්ජීවනය කෙරෙහි රජයේ උනන්දුව පෙන්නුම් කරමින් මෙවර කැන්ඩි සිටි සෙන්ටර් හි පැවති ශ්‍රී ලංකා කෝපි උත්සවයට අනගි අන්දමින් පැවැත්වින. මේ වනවිට මෙම ක්ෂේත්‍රය යළි පණගැන්වීමෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කරන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) විසින් කෝපි, ප්‍රමුඛතා බෝගයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත. ලංකා කෝපි සංගමය (LCA) සහ මාකට් ඩිවෙලොප්මන්ට් ෆැසිලිටි (MDF) ආයතනය හවුල්ව පවත්වනු ලබන ශ්‍රී ලංකා කෝපි උත්සවය සමග සිය වාර්ෂික කෝපි දිනය සැමරීමේ උත්සවය ද එකට යා කිරීමට කටයුතු කරමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) වැදගත් පියවරක් පෙරට තැබීය. ඉන් සනිටුහන් වුණේ රාජ්‍ය-පුද්ගලික සහයෝගීතාව පිළිබඳ නව පරිච්ඡේදයකි. ගෝලීය කෝපි අපනයනකරුවකු වශයෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබූ පිළිගැනීම නැවත ස්ථාපිත කිරීමෙහි රජයේ අභිලාෂය ද ඒ හරහා පෙන්නුම් කෙරිණ.
අවබෝධතා ගිවිසුම තුළින් ඔස්ට්‍රේලියාවේ MDF ආයතනය අපේක්ෂා කරනුයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (DEA) ද සහය ඇතිව කෝපි ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමටයි. එහිදී සුවිශේෂී ඉලක්ක හා ප්‍රතිපල උදෙසා සැලසුම් හා මගපෙන්වුම් අඩංගු ක්‍රමවේදයක් (roadmap) සංවර්ධනය කරනු ඇත. එමගින් වත්මන් වෙළඳපොළ තත්ත්වය පෙන්වාදීමටත්, පවතින අඩුපාඩු හඳුනා ගැනීමටත් කටයුතු කරනු ඇත. එවිට, එම අඩුපාඩු යථාවත් කිරීම පිණිස මූලික වශයෙන් ගත යුතු පියවර හඳුන්වාදීම තුළින් ඉදිරි වසර කිහිපය ඇතුළත දී දිවයිනෙහි කෝපි ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එසේම, සැකසුම් තාක්ෂණයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට, කර්මාන්තය හා බැඳුණු පුහුණු වීම් ලබාදීමට සහ කෝපි පිළිබඳ පුහුණු වීමේ මොඩියුල බෙදා හැරීමට ද DEA සමග එක්ව කටයුතු කිරීමට MDF ආයතනය අදහස් කරයි.
විද්වත් මඬුල්ලක් විසින් පවත්වන ලද සාකච්ඡාව, කෝපි වගාවට වසර 200ක් සපිරීම වෙනුවෙන් නිල සමරු තැපැල් මුද්දරයක් නිකුත් කිරීම, කෝපි සෑදීමේ ප්‍රායෝගික පුහුණුව, සහ කර්මාන්තයේ විශේෂඥයින් විසින් බෙදා-හදා ගත් කෝපි පෙරීමේ තාක්ෂණික ඥාණය සහ දැනුම හා අවබෝධය බෙදා හදා ගැනීම ආදී විවිධාංග රැසක් මෙම උත්සවයේ දී දක්නට ලැබිණ. හොඳම ගොවියා, හොඳම සැකසුම්කරු සහ කෝපි කලා තරගයේ ජයග්‍රාහකයන් පිළිගැනීමට ලක් කර DEA විසින් තෑගි බෙදා දුන්නේ උත්සවයට නව පණක් ලබාදෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ලංකා කෝපි සංගමයේ සභාපති, කුෂාන් සමරරත්න මහතා, “මෙවර කෝපි උත්සවයේ සම-සත්කාරකත්වය දැරීමට අපනයන බෝග සංවර්ධනයට වගකිව යුතු රාජ්‍ය ආයතනය වන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ලංකා කෝපි සංගමය සහ මාකට් ඩිවෙලොප්මන්ට් ෆැසිලිටි ආයතනය සමග හවුල් විය. එය, මෙරට කෝපි කර්මාන්තයේ සුවිශේෂී අවස්ථාවකි. මීට සිව් වසරකට ඉහත දී මෙම සංගමය නිර්මාණය කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වුණේ ක්ෂේත්‍රය ඒකාබද්ධ කිරීම, සියලු පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරකම් පොදු මාවතකට පෙළගැස්වීම හරහා හා කාර්යක්ෂම සංවර්ධනයක් ඇති කිරීම ආදී කාරණා ය. කර්මාන්තයක් හැටියට කෙටි කාලයක් ඇතුළත ඉතාමත් සාර්ථක ගමනක යෙදෙන්නට අප සමත් ව ඇති බවට මෙම සුසංයෝගය සාක්ෂි දරනවා.” යැයි පැවසීය. කෝපි කර්මාන්තයට ඇති වත්මන් අභියෝග පැහැදිලි කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කෝපි සංස්කෘතිය පිබිදෙමින් පවතින බවයි. විශේෂිත කෝපි වගා කිරීමේ කාර්යයට ඉතා ඕනෑකමින් යොමුව ඇති ජාතියක් වශයෙන් එම අවස්ථාවෙන් නිසි ඵල නෙළා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට උදා වෙමින් පවතින බවයි.
කළම්බෝ කොෆී කම්පනි මෙම උත්සවයේ රන් අනුග්‍රාහකත්වය දරන ලද අතර, එහි නිල බැංකුකරණ සහකරු වූයේ හැටන් නැෂනල් බැංකුවයි. මෙම ක්ෂේත්‍රයේ වාණිජ ලැදියාවන්ගේ වර්ධනය තවදුරටත් වෙරගැන්වීමට එම සමාගම් වල දායකත්වය හේතු පාදක විය.






