July, 17, 2016
දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල සිසු දරු දැරියන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ ඛෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආපිකෝ මේ වනවිට කටයුතු කර තිබේ. මෙහි ප්‍රථම අදියර මහවැලි L කලාපයේ වැලිඔය ප්‍රදේශයේදී ආරම්භ කරන ලද අතර එහිදී සිසු සිසුවියන් 350 කට අධික පිරිසකට පාසල් උපකරණ ඛෙදාදෙන ලදි.
රිචඩ් පීරිස් සමූහයේ දේශීය නිෂ්පාදන හා ඛෙදාහැරීම් අංශය විසින් මෙම ව්‍යාපෘතිය දියත් කර තිබේ. විවිධ දුෂ්කරතා මැද දිවි ගෙවන ප්‍රජාවන්ට අත්වැලක් සැපයීමේ අරමුණ මූලික කරගෙන ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුළදී සමාගමේ පරිත්‍යාගයන් මෙන්ම කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා දායකත්වයන්ද සමගින් එසේ උපකාර අවශ්‍ය කරන ජනතාව වෙත සහන සැලසීම සිදුකෙරේ.
මුල් අදියරේදී වැලිඔය ප්‍රදේශයේ පාසල් 3 ක් වෙත මෙම ආධාර හිමි විය. උතුරු පළාතේ මුලතිවු දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වැලිඔය ප්‍රදේශය, 80 දශකයේ මහා පරිමාණ පදිංචි කරවීම් සිදුවූ ප්‍රදේශයකි. එමෙන්ම එම ප්‍රදේශය දිවයිනේ පැවති සිවිල් යුද්ධයෙන් බරපතළ පීඩාවට පත් ප්‍රදේශයක්ද වේ. අද පවා මේ ජනතාව විවිධ දුෂ්කරතා මැද දැඩි ජීවන අරගලයකට මුහුණ දී සිටිති.
“වැලිඔය ප්‍රදේශයේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බව අපගේ කාර්ය මණ්ඩලය හඳුනාගත්තා. කෙටි අධ්‍යයනයකින් අනතුරුව එම ප්‍රදේශයේ පාසල් සිසුන් මොන තරම් දුෂ්කරතාවලින් පෙළෙනවාද යන්න අපට වැටහී ගියා. ඒ සම්බන්ධයෙන් ඉක්මනින්ම යමක් කළ යුතු බව අප කල්පනා කළේ ඒ නිසයි.“ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ලියනගේ මහතා පැවසී ය.
වැලිඔය/මුලතිවු පරණගම විද්‍යාලය, වැලිඔය/මුලතිවු කල්‍යාණපුර විද්‍යාලය සහ වැලිඔය/මුලතිවු කිරි ඉබ්බන්වල විද්‍යාලය යන පාසල් වෙත මෙසේ ආපිකෝ පරිත්‍යාග හිමි විය. මෙම පාසල්වල 1 වසරේ සිට 11 වසර දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන් 381 දෙනෙකුට පෑන්, පැන්සල්, අභ්‍යාස පොත්, පාසල් බෑග්, මකන කෑලි, කතුරු, ක්ලේ, පාට පැන්සල්, ගම් බෝතල්, කෑමපෙට්ටි, වතුර බෝතල්, පැන්සල් පෙට්ටි, අඩි රූල් සහ චිත්‍ර පොත් වැනි දේ මෙසේ ප්‍රදානය කරන ලදි. එමෙන්ම වැඩසටහන යටතේ මෙම පාසල්වලට ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ, දැල් පන්දු සහ පැසිපන්දු වැනි ක්‍රීඩා භාණ්ඩද පිරිනැමීමටද කටයුතු කිරීම විශේෂත්වයක් විය.
විශේෂයෙන්ම වැලිඔය ප්‍රදේශය ඉලක්ක කරගෙන අනාගතයේදී තවත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද සමාගම සැලසුම් කර තිබේ. එක් පාසලක සිසුන්ට ළඟදීම මැසූ නිල ඇඳුම් ලබාදීමට නියමිත අතර ආපිකෝ වතුර ටැංකි, වතුර පොම්ප, PVC ජලනල හා උපාංග සමගින් පූර්ණ ජල සම්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමටද නියමිත ය.
“අනිවාර්යයෙන්ම මෙවැනි වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපගේ කණ්ඩායම දක්වන්නේ විශාල උනන්දුවක්. ඒ නිසා ළඟදීම තවත් මෙවැනි සත්කාර රැසක් ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබේවි.“ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ගයාන් වික්‍රමාරච්චි මහතා පැවසී ය.
Video Story