July, 16, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (16) දින දක්නට ලැබුණ ද ආයෝජක ක්‍රියාකාරීත්වයේ කැපීපෙනෙන සක්‍රීය බවක් දිනය පුරා දක්නට ලැබුණි.
එහිදී දිනයේ තුල සියලු කොටස් මිල දර්ශකය ඒකක 61.31කින් පහළ ගොස් ඒකක 18,884.96ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 32.42කින් පහළ ගොස් ඒකක 5,668.12 ක් ලෙසින් සටහන් විය.
සියලු කොටස් මිල දර්ශකයේ මෙම කඩාවැටීමට සමාගම් 116ක් හේතු වී තිබූ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, හේලීස්, සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, මෙල්ස්ටාකෝප් සහ රෝයල් සෙරමික් ලංකා යන සමාගම් මේ සඳහා බෙහෙවින් හේතු වී තිබුණි.
අද දින රු. බිලියන 17.01ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමයි.
ප්‍රධාන වශයෙන් හැටන් නැෂනල් බැංකුවට (HNB) අදාළව සිදුවුණු කොටස් ගනුදෙනු කිහිපයක් මෙලෙස දෛනික පිරිවැටුමට වාර්තාගත ලෙස ඉහළ අගයයක් ගැනීමට හේතුවී තිබුණි.
අද දිනයේ දී රු. බිලියන 1.21ක වටිනාකමකින් යුතු HNB ඡන්ද බලයහිමි සාමාන්‍ය කොටස් ප්‍රමාණයක් හා රු. බිලියන 11ක වටිනාකමකින් යුතු HNB නිෂ්ඡන්ද සාමාන්‍ය කොටස් ප්‍රමාණයක් හුවමාරු වී තිබුණු අතර සමස්තයක් ලෙස අද දින මුළු පිරිවැටුමෙන් 71%කට වඩා වැඩි දායකත්වයක් එමඟින් ලැබී තිබුණි.
මේ අතර කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධතිවල සිදුවූ දෝෂයක් හේතුවෙන් අද පෙරවරු 10.00 - 10.40 කාලය තුළ සාමාන්‍ය දෛනික ගනුදෙනුවල අත්හිටුවීමක් වාර්තා වුණි.
Video Story