2026 වසරේ නිකුත් වන ඩිජිටල් හැඳුනුම්පත සමඟින් ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක්

    July, 31, 2025

    ඩිජිටල් පරිවර්තනයක් සඳහා වන වැඩපිළිවෙලෙහි ප්‍රධානතම ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය මඟින් 2026 අප්‍රේල් මස වන විට ආරම්භ කිරීමට නියමිතය, එය ශක්තිමත් දත්ත ආරක්ෂණ පද්ධතියකින් සහ පුරවැසි ආරක්ෂාව සහතික කරන, මහජන සේවාවන් වෙත කාර්‍යක්ෂමව ප්‍රවේශ වීමට අවස්ථාව හිමිකර දෙන දැවැන්ත පරිවර්ථනයක ආරම්භයකි.

    ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රජය විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 10.4 ක  ප්‍රදානයක් අරමුදල් වශයෙන් ලබා දෙන අතර එමඟින් මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය මත පැටවෙන මූල්‍යමය බර අවම කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය මඟින් තහවුරු කළේය.

    ප්ලාස්ටික් කාඩ්පතේ සිට සිට ඩිජිටල් හැඳුනුම්පත වෙත මාරුවීම

    ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය වශයෙන් 2030 වන විට සියලු දෙනා ආවරණය වන්නා වූ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් මෙරට තුළ ගොඩනැගීමත්, කලාපීය වශයෙන් ඩිජිටල් මධ්‍යස්ථානයක් දක්වා ශ්‍රී ලංකාව ගොඩනැගීමත් අරමුණයි. එකී අරමුණු කරා ගමන් කිරීමේ පදනම සකස් වන්නේ මෙකී ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය හරහායි. අනෙක් අතට දශක ගණනාවක සිට, ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත (NIC) භෞතික වශයෙන් පුද්ගලයින් හඳුනාගැනීම සහ රාජ්‍ය සේවා වෙත ප්‍රවේශ වීම සඳහා පදනම ලෙස යොදාගැනින. කෙසේ නමුත් ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන්, ආරක්ෂිත සහ පරිමාණය කළ හැකි ඩිජිටල් අනන්‍යතා විසඳුම් කරා පරිවර්තනය වීමේ ප්‍රවණතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව ද නවීන ඩිජිටල් විකල්පයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ.

    මේ සඳහා වඩාත් සුදුසු , ආරක්ෂිත යැයි සැලකෙන පද්ධතියක් ලෙස තෝරාගෙන තිබෙන පද්ධතිය වන්නේ මොඩියුලර් විවෘත මූලාශ්‍ර අනන්‍යතා වේදිකාව (MOSIP) යි. මෙය  පිලිපීනය, මොරොක්කෝව, ඉතියෝපියාව සහ ටෝගෝ වැනි රටවල දැනටමත් භාවිතයේ පවතින ගෝලීය වශයෙන් පිළිගත්, විවෘත මූලාශ්‍ර ඩිජිටල් හැඳුනුම්පත් රාමුවක් වන අතර දැනටමත් ලොව පුරා මිලියන 130 කට අධික ජනතාවක් MOSIP මත පදනම් වූ හැඳුනුම්පත් ලබාගෙන තිබේ.

    MOSIP තෝරා ගන්නේ ඇයි?

    අමාත්‍යාංශය මෙහිදී ප්‍රධාන වශයෙන් විකල්ප‍යන් තුනක් සම්බන්ධයෙන් සලකා බැලූ අතර එහිදී දේශීය වශයෙන් නිර්මාණය කරන ලද පද්ධතියක්, හිමිකාර වාණිජ විසඳුම් ලබා දෙන පද්ධතියක් සහ ජාත්‍යන්තර විවෘත මූලාශ්‍ර වේදිකා යන ත්‍රිත්වය සලකා බැලිනි. එහිදී පෙනී ගිය කරුණ වන්නේ විවෘත මූලාශ්‍ර විකල්පය (MOSIP) වඩාත්ම ලාභදායී, ආරක්ෂිත සහ ස්වෛරී-හිතකාමී විකල්පය බවයි.

    දේශීය විසඳුමක් ගොඩනැගීමේ දී  මෘදුකාංග සංවර්ධනය, නඩත්තුව සහ දිගුකාලීන තිරසාරභාවය සඳහා අඛණ්ඩ රාජ්‍ය ආයෝජන ද අවශ්‍ය විය. හිමිකාර වේදිකා, තාක්ෂණික අතින් ඉහළ මට්ටමක පැවතිය ද, ඉහළ පිරිවැය, නම්‍යශීලීභාවය අවම වීම සහ විකුණුම්කරුට අගුළු දැමීමේ හැකියාව පැවතීම වැනි අවදානම් හඳුනා ගැනින.

    ඒ අනුව MOSIP පිළිබඳ සලකා බැලීමේදී MOSIP යනු ශ්‍රී ලංකාවට වඩාත් නම්‍යශීලී විසඳුම් ලබා දෙන, විකුණුම්කරුට අගුළු දැමීමේ හැකියාවක් නොමැති සහ ශ්‍රී ලංකා රජයට පුරවැසි දත්තවල පාලනය රඳවා ගැනීමේ බලය සහතික කළ හැකි විසඳුමක් විය.

    වාණිජ විකල්ප මෙන් නොව, MOSIP හි විවෘත මූලාශ්‍ර ස්වභාවය මඟින් එය ස්වාධීනව අභිරුචිකරණය කිරීමට, නඩත්තු කිරීමට සහ විගණනය කිරීමට හැකි වන අතර එය දිගු කාලීනව ජාතික වශයෙන් භාවිතය සඳහා වඩාත් සුදුසු වේ.

     

    පූර්ණ පාලනය දේශීය හිමිකාරිත්වයක් යටතට

    සහතික ලත් ඉන්දියානු පද්ධති ඒකාබද්ධ කරන ආයතනයක් මඟින් ශ්‍රී ලංකාව සඳහා MOSIP සම්බන්ධ කරන අතර ඒ ඔස්සේ දේශීය තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ව සම්පූර්ණ ක්‍රියාකාරිත්වය, නඩත්තුව සහ අනාගත සංවර්ධනය සඳහා පුහුණු කරනු ලැබේ.  මෙහිදී  සියලුම දත්ත ලබාගැනීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පමණක් සිදුකරනු ලබන අතර පද්ධතිය සම්පූර්ණයෙන්ම දේශීය කළමනාකරණය යටතේ ඇති අවස්ථාවේදී ජෛවමිතික හෝ පුද්ගලික දත්ත රැස් කරනු ලබයි. එමෙන්ම පද්ධතිය සක්‍රිය කිරීමට පෙර ශ්‍රී ලංකා CERT විසින් සම්පූර්ණ ආරක්ෂක විගණනයක් පවත්වන අතර ඉන් අනතුරුව පද්ධතිය සම්පූර්ණයෙන්ම SLUDI පද්ධතිය සඳහාම නිර්මණය කළ ශ්‍රී ලංකා රජය සතු ක්ලවුඩ් සේවා පද්ධතියක් තුළ ආරක්ෂිතව ගබඩා කරනු ලැබේ.  

    ආරක්ෂිත සංකේතනය හරහා පුරවැසි රහස්‍යතාවය සහතික කෙරේ

    ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව මනා පරීක්ෂාවකින් පසුව නිර්මාණය කර ඇත. මුහුණු හඳුනාගැනීම, ඇඟිලි සලකුණු සහ ඇසේ කලු ඉංගිරියාව ස්කෑන් කිරීම වැනි ජෛවමිතික දත්ත, ආපසු හැරවිය නොහැකි ලෙස වඩාත් ආරක්ෂිතව ගබඩා කරනු ලැබේ.  එකම ව්‍යතිරේකය වන්නේ අවශ්‍ය විටෙක මුහුණු අනන්‍යතාවය හඳුනා ගැනීමට සහාය වීම සඳහා තබා ගන්නා ඡායාරූපය යි. මෙම ප්‍රවේශය පුරවැසි දත්ත පුද්ගලිකව, ආරක්ෂිතව සහ අනවසර පාර්ශවයන්ට කිසිසේත්ම ප්‍රවේශ විය නොහැකි බවට සහතික කරන අතර පද්ධතියේ අඛණ්ඩතාව පිළිබඳ මහජන විශ්වාසය ශක්තිමත් කිරීමට එය හේතු වේ.

    e-NIC ආයෝජන නැවත භාවිතා කිරීම මඟින් උපායමාර්ගික සහ පිරිවැය-කාර්යක්ෂමව නැවත භාවිතයට ගැනේ.

    e-NIC එසේත් නැත්නම් විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය 2024 දෙසැම්බර් වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ නමුත්, එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයත් සමඟ, MOSIP මත පදනම් වූ ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක් නිර්මාණය කිරීමේ උපායමාර්ගික සහ මූල්‍යමය වාසි සමඟ ඒකාබද්ධව, රජය එහි ප්‍රවේශය සංශෝධනය කිරීම සඳහා කටයුතු කළේය. ඒ අනුව බදු ගෙවන්නන්ට දිගුකාලීන පිරිවැය අඩු කිරීමට සහ පද්ධති හැකියාවන් වැඩි දියුණු කිරීමට, e-NIC/MOSIP ඒකාබද්ධ කරන ලද විසඳුමක් කරා යාමට තීරණය විය.

    මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ e-NIC ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද  ආයෝජනයන්ගෙන් 99%ක් ම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය යටතේ අපතේ නොයන අතර ඒවා අදියර කිහිපයක් වශයෙන් විශේෂයෙන් පළාත් සභා තුළ දැනටමත් යොදවා ඇති මෘදුකාංග මොඩියුල, ජෛවමිතික උපාංග සහ ඩිජිටල් යටිතල පහසුකම් යන ආයෝජන, නව ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී නැවත භාවිතා කරනු ලැබේ.

    තවදුරටත් පිරිවැය ඉතිරිකිරීමේ පියවරක් වශයෙන්, ජෛවමිතික දෘඩාංග සඳහා ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් දරන ලද වියදම් ඉන්දියානු ප්‍රදානය යටතේ ප්‍රතිපූරණය කරනු ලබන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු මහජන මුදල් ප්‍රමාණයක් ඉතිරි වේ.

    මෙම භාවිතය තාක්ෂණික වශයෙන් උසස් විසඳුමක් පමණක් නොව, මූල්‍යමය වශයෙන් වඩාත් හිතකර තීරණයක් ද වන අතර, අනාගත වියදම් අවම කරමින් පෙර ආයෝජන ද නැවත භාවිතයට ගැනෙන බව සහතික කරන්නා වූ ක්‍රමවේදයකි.

    පුරවැසි කේන්ද්‍රීය ව්‍යාප්තියකි.

    ඩිජිටල් හැඳුනුම්පත "ඊ-ලොකර්" නම් ජංගම යෙදුමක් හරහා ලබා ගත හැකි අතර, ජෛවමිතික අනන්‍යතාව තහවුරු කිරීම, QR කේත සත්‍යාපනය සහ මුහුණු පරීක්ෂාව සඳහා ද සහාය වේ. ඩිජිටල් හැඳුනුම් පතට අමතරව භෞතික ලේඛනයක් අවශ්‍ය පුද්ගලයින් සඳහා මුද්‍රණය කළ හැකි පිටපතක් ද ලබාදෙනු ලැබේ.

    මෙහි ඇති වඩාත් වැදගත් කරුණ වන්නේ, පවතින ජාතික හැඳුනුම්පත් කාඩ්පත් වසර 3-5 ක කාලයක් සඳහා වලංගු වන අතර, ඩිජිටල් හැඳුනුම්පත් සඳහා නැවත ලියාපදිංචි වූ පසු පුරවැසියන්ට ඔවුන්ගේ හැඳුනුම්පත් වහාම ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය නොවේ. සේවාවන් සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ වීම සඳහා පවතින සෑම ජාතික හැඳුනුම්පතක්ම නව පද්ධතියට ඩිජිටල් ලෙස ඇතුළත් කරනු ලැබේ.

    PDU ප්‍රසම්පාදන ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම.

    ජෛවමිතික දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවල භාවිතා කරන විදුලිය බෙදාහැරීමේ ඒකක (PDU) ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මෑත කාලීනව බොහෝ කතාබහක් ඇති කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැහැදිලි කළේ  මෙම තේරීම් ක්‍රියාවලිය තාක්ෂණික පිරිවිතර මත පදනම් වූ ක්‍රියාවලියක් බවයි. විදුලි ස්ථායිතාව සහතික කිරීම, සංවේදී ජෛවමිතික උපකරණ ආරක්ෂා කිරීම සහ විභව දත්ත නැතිවීම වැළැක්වීම සඳහා කාර්මික ශ්‍රේණියේ PDU නිර්දේශ කර ඇත. ඉදිරිපත් වූ සමාගම් අටකගෙන් සමාගම් 3ක් තාක්ෂණික අනුකූලතාවය මත පදනම්ව කෙටි ලැයිස්තුගත කර ඇති අතර,අවසන් ඇගයීමට සුදුසුකම් ලත් ලංසු අතරින් අවශ්‍ය අවම තාක්ෂණික පිරිවිතර සහිත අවම මිල ගණන් ඉදිරිපත් කළ ලංසුව තේරී පත්විය. ඒ අනුව සහභාගී වූ සියලුම සමාගම්වලට දැනුම් දී විරෝධතා මතු කිරීමට අවස්ථාව ලබා දුන් අතර, එහිදී විධිමත් විරෝධතා දෙකක් ලැබුණි. විනිවිදභාවය සහතික කිරීම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා, තාක්ෂණික සාධාරණීකරණයන් දෙකම විධිමත්ව සමාලෝචනය කිරීම සඳහා අමාත්‍යාංශය ස්වාධීන විශේෂඥ කමිටුවක් පත් කළ අතර, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන ලදී. එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සෑම අදියරකදීම වගවීම, විනිවිදභාවය සහ ක්‍රියා පටිපාටිමය විධිමත්භාවය අනුගමනය කිරීමට කටයුතු කර ඇත.

    MOSIP සහ ආධාර්‍ර් පද්ධතිය අතර වෙනස.

    MOSIP යනු ඉන්දියාවේ ආධාර් පද්ධතිය නොවන අතර ආධාර් හි ආකෘතියෙන් ආභාෂය ලබාගත්ත ද, MOSIP යනු ඩිජිටල් අනන්‍යතාවය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ ගෝලීය විශේෂඥයින්ගේ එකමුතුවක් විසින් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර, විවෘත මූලාශ්‍ර වේදිකාවකි. එසේම MOSIP මත පදනම් වූ කිසිදු පද්ධතියක දත්ත කඩකිරීම් වාර්තා වී නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහතික කර ඇත.

    ජාතික පරිවර්තනය ඉදිරියට

    ඩිජිටල් හැඳුනුම්පත තාක්ෂණික මෙවලමකට එහා ගිය සියලු දෙනා ඇතුලත් වන්නා වූ පාලනය සහ මහජන විශ්වාසය සඳහා වන නව පරිවර්තනීය ආරම්භයකි. එමඟින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවාවන් සඳහා ප්‍රවේශය සරල කිරීම, රාජ්‍ය සේවා සැපයීමේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, නවීන සංකේතනය සහ දත්ත ප්‍රොටෝකෝල හරහා පුරවැසි පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම,  ආරක්ෂිත ඩිජිටල් සත්‍යාපනය හරහා ඩිජිටල් ආර්ථිකය සක්‍රීය කිරීම යන කරුණු මේ ඔස්සේ මූලික වශයෙන් සක්‍රීය කිරීමට අපේක්ෂා කෙරේ.අවසාන වශයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය රාජ්‍ය, පුද්ගලික ඇතුළු සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිඳු අනියත බියෙන් තොරව, විනිවිද භාවයෙන් හා කාර්‍යක්ෂම සේවා මුලපිරීමක් සහ අනාගත පරම්පරාවන් වෙනුවෙන් වන ශක්තිමත් ඩිජිටල් හෙටක් වෙනුවෙන් ඩිජිටල් පදනම නිර්මාණය කරන ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙසයි.