ඇමරිකානු තීරුබදු පහත හෙළීම ගැන හර්ෂ සතුටින්

    August, 1, 2025

    ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව හදවතින්ම සතුටු වන බව හෙතෙම පවසයි.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    හදවතින්ම සතුටු වෙමි.

    ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත.

    ඒ පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වෙමි.

    මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි.

    ආචාර්ය හර්ෂ ද සිල්වා

    පාර්ලිමේන්තු මන්ත්‍රී