ශ්‍රී ලංකා මහ බැංකුව ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව – 2025 ජුනි’ ප්‍රකාශයට පත් කරයි

    August, 1, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය තුන්වන වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව 2025 වසරේ ජූලි මස 31වන දින  නිකුත් කළේය. නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය යටතේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව උපයෝගී කර ගනිමින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩි දියුණු කිරීම මෙම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාවේ අරමුණයි.

    නවතම වාර්තාව තුළින් 2025 වසරේ පළමු භාගයට අදාළ ප්‍රධාන ප්‍රතිපත්ති පියවර, ද්‍රවශීලතා ප්‍රවණතා, කෙටිකාලීන පොලී අනුපාතික සහ විනිමය අනුපාතික චලනයන්, මුදල් වෙළඳපොළ සහ දේශීය විදේශ විනිමය වෙළඳපොළ මෙහෙයුම් ආදිය සාරාංශ කොට ඉතිරිපත් කෙරේ. මෙම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව මඟින් කාලෝචිත මාතෘකා පිළිබඳ විශේෂාංග ලිපි දෙකක් ද ඉදිරිපත් කරනු ලබන අතර වෙළඳපොළ මෙහෙයුම් සහ ගනුදෙනු පිළිබඳ තෝරාගත් දර්ශක ඇතුළත් වේ.

    සුවිශේෂී සිදුවීම්

    • 2025 වසරේ මේ දක්වා, දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව අඛණ්ඩව අතිරික්ත මට්ටමක පවතී.

    • වැඩිදියුණු වූ ද්‍රවශීලතාව සහ වෙළඳපොළ ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින්, 2025 වසරේ ජනවාරි මස අග සිට  ප්‍රතිවිකුණුම් වෙන්දේසි පැවැත්වීම හරහා මුදල් වෙළඳපොළ වෙත සිදු කරනු ලබන මැදිහත්වීම මහ බැංකුව විසින් අත්හිටුවන ලදී.

    • කෙටිකාලීන පොලී  අනුපාතික, එක් දින ප්‍රතිපත්ති පොලී  අනුපාතිකය (Overnight Policy Rate) අනුව ස්ථායි වී ඇත.

    • වැඩි දියුණු වූ වෙළඳපොළ ක්‍රියාකාරකම් සමග අන්තර් බැංකු වෙළඳපොළ සාමාන්‍යකරණය වෙමින් පවතී.

    • එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය විය.

    • විදේශ සංචිත ගොඩනැංවීම සහ විනිමය අනුපාතිකයෙහි අධික විචලනයන් සීමා කිරීමට මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් විය.