ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි

    August, 2, 2025

    ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ අභිලාශය, නිර්මාණශීලීත්වය හා ගෝලීය දැක්ම මනාව විදහා දක්වන්නකි.

    City of Dreams Sri Lanka යනු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) සහ මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts and Entertainment (MRE) හි ශක්තිමත් සහයෝගීතාවයේ අති සාර්ථක ව්‍යාපෘතියකි. එය සුවිසල් අවස්ථාවන් සමඟින් නවෝත්පාදනය, ජාතික අභිමානය හා ගෝලීය පිළිගැනීම සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසද අරුත් ගැන්විය හැකිය.

    මෙම අභිමානවත් සමාරම්භය සමඟ එක් වෙමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා පවසා සිටියේ මෙවැන්නකි.

    මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක්. City of Dreams යනු අපේ රටේ මෙතෙක් සිදු කරන ලද විශාලතම පුද්ගලික ආයෝජනයයි. මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන්ම ලෝකය තුල ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් විශිෂ්ටත්වයට පත් කිරීමට හේතු වනවා. ඒවගේම අනාගත පරම්පරාවන්ට ප්‍රයෝජනවත් වන දිගුකාලීන ධනාත්මක වෙනසක් නිර්මාණය කරමින්, නවීන හා ඉදිරි දැක්මක් සහිත ගමනාන්තයක් ලෙසද City of Dreams පෙන්වා දිය හැකියි.”

    මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ (Lawrence Ho) මහතා සඳහන් කර සිටියේ “මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමූහය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. මෙල්කෝ හි ගෝලීය අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය එකට එක් කරන වැදගත් අවස්ථාවක් ලෙස City of Dreams Sri Lanka සඳහන් කළ හැකියි. අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණය මෙන්ම විනෝදාස්වාද සහ කැසිනෝ පවත්වාගෙන යාමෙන් අප කලාපයේ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ව්‍යාපාරය සඳහා නව මිණුම් සලකුණු සකසන අතරම ශ්‍රී ලංකාවේ අද්විතීය අනන්‍යතාවය පිළිබිඹු කරමින් සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීමට ද සහාය වනවා.” යනුවෙනි.

    පසුගිය වසරක කාලය පුරා දේශීය ශිල්පීන්, හෝටල් වෘත්තිකයින් සහ නිර්මාණකරුවන් 500ක අධික පිරිසක් ජාත්‍යන්තර නිර්මාණ ශිල්පීන් සහ මෙල්කෝ හි ගෝලීය විශේෂඥයින් සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සුවිසල් දායකත්වයක් දක්වනු ලැබීය. එහිදී විශේෂයෙන් බිත්ති මත දැතින් නිමවන ලද සිතුවම් මෙන්ම තෝරාගත් කලා නිර්මාණ රැසක් තුලින් ශ්‍රී ලාංකේය හැකියාවන් ලොවට ප්‍රදර්ශන කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවේ City of Dreams හි අනන්‍යතාවද ලොවට විවර කරමිනි.

    කොළඹ නගරයට නව අරුතක්

    සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියකට එහා ගිය ශ්‍රී ලාංකේය හැකියාවන් හා නව්‍යකරණ සංකේතයන් මනාව විදහා දක්වන City of Dreams Sri Lanka කොළඹ නගරයේ ආකර්ෂණීයම සංචාරක ගමනාන්තය බවට පත් වන්නේ නිරායාසයෙනි. සුවිශේෂී උත්සව අවස්ථා සඳහා සුඛෝපභෝගී පහසුකම්වලින් සපිරි City of Dreams ඉහළ ආදායම් ලබන සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගනිමින් දේශීය ව්‍යාපාර දියුණුව වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටියි.

    දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන මේ තුලින් සියලු සේවාවන් එකම වහලක් යටදී සිදු කර ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත්තේ ඔවුන් වෙත ඉමහත් පහසුවක් අත්කර දෙමිනි.

    කාමර 687කින් සමන්විත Cinnamon Life සහ අති සුඛෝපභෝගී කාමර 113කින් සමන්විත NUWA හෝටල් සමඟින් ජාත්‍යන්තර තත්ව හා පාලන ක්‍රමවේදයන්ට අනුකූලව මෙල්කෝ විසින් මෙහෙයවනු ලබන අති නවීන කැසිනෝ හා විනෝදාස්වාද කලාපයක් තුලින් දෙස් විදෙස් සංචාරකයින් වෙත අසමසම සේවාවක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත.

    සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ දායකත්වයෙන් සකසනු ලබන ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර උරුමයන් සමඟින් පාරිභෝගිකයින් වෙත නවතම ප්‍රණීත ආහාර හා පාන වර්ග රැසක් හඳුන්වා දීමට City of Dreams කටයුතු කර ඇත්තේ සුවිශේෂී අවන්හල් හා බාර් 17ක් සමඟිනි.

    එමෙන්ම පිළිගත් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ නාම සහිත සාප්පු සංකීර්ණයක් තුළින් තමන්ට අවශ්‍ය හොඳම නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාවද මෙහි පැමිණෙන අමුත්තන් වෙත උදා කර දෙන City of Dreams විශේෂ උත්සව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශනයන් පැවැත්වීම සඳහා වන සියලු පහසුකම්වලින්ද සමන්විත වේ. එසේම City of Dreams හි නිවාස හා කාර්යාල සංකීර්ණය තුළින් පරිපූර්ණ නිවසක් හෝ කාර්යාලයක් වෙන් කර ගැනීමට දෙස්, විදෙස් පාරිභෝගිකයින්ට අවස්ථාව උදා කර දී තිබීම විශේෂත්වයකි.