August, 4, 2025
ප්රතිමුඛ ආයෝජන පිළිබඳ යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ, දේශීය සමාගම් සඳහා විදේශයන්හි ආයෝජනය කිරීම සඳහා වැඩි කළ සීමාවන් හඳුන්වා දීම ඇතුළු ක්‍රියාවලීන් විධිමත් කිරීම ඇතුළත් නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා සැලකිල්ලට ගන්නා ලදී.
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ 2025.06.18 දින අංක 2441/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද එම නියෝගය මෙහිදී සළකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ අනුමතිය හිමිවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.07.29 දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
මේ අනුව කොටස් වෙළඳපොළ ලැයිස්තුගත සමාගම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන සීමාව ඇ.ඩො 500,000 සිට ඇ.ඩො 750,000 දක්වා ඉහළ නංවා ඇති අතර ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා සීමාව ඇ.ඩො 150,000 සිට ඇ.ඩො 200,000 දක්වා වැඩි කර ඇත.
මෙම සීමාවන් ඉක්මවා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සමාගම්වලට විදේශ මූලාශ්‍රවලින් ඇ.ඩො මිලියන 2 ක් දක්වා ණය ලබාගත හැකි අතර ඇ.ඩො මිලියන 2 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වේ.
අදාළ අරමුදල් විදේශයන්ට මාරු කිරීමට පෙර සියලුම ප්රතිමුඛ ආයෝජන ශ්‍රී ලංකාවේ නම් කරන ලද ප්රතිමුඛ ආයෝජන ගිණුමක් (Outward Investment Account - OIA) හරහා යොමු කළ යුතුය. අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව සමාගම්වලට මෙම ගනුදෙනු ඉක්මනින් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවලට අවසරය ලබා දී ඇත.
රැස්වීමට සහභාගී වූ නිලධාරීන් අවධාරණය කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාර, විශේෂයෙන් තාක්ෂණික හා මෘදුකාංග ක්ෂේත්‍ර ජාත්‍යන්තරව පුළුල් කිරීම දිරිගැන්වීම අරමුණු කරගෙන මෙම සංශෝධන සිදුකර ඇති බවයි. පෙර පැවති සීමාවන් නිසා සමහර සමාගම් මෙරට හැරයාමට පෙළඹෙන තත්ත්වය හමුවේ මෙම වෙනස්කම් සිදුකර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් කෙටි කාලීන සැපයුම්කරු ණය ජංගම ගිණුම් ගනුදෙනුවක් ලෙස වර්ගීකරණය කර ඇති බවත්, අමතර සීමාවන් නොමැති බවත් සහතික විය.
2025.06.30 දින අංක 2443/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 35 වන වගන්තිය යටතේ කරන ලද නියෝගය ද කාරක සභාව විසින් සලකා බලන ලදී. දීර්ඝ සාකච්ඡාවකින් පසුව අදාළ නියෝගය සඳහා අනුමැතිය ලබා දීම සිදුවිය.
Video Story