ශ්‍රීලංකන් ගුවන්යානා 4 ක් පාකිස්තානයට අර්ධ කල්බදු දෙයි

    July, 21, 2016

    යුරෝපීය ගමනාන්ත කිහිපයක් වෙත සිදුකරනු ලැබූ ගුවන් ගමන් නවතා දැමීමත් සමගම ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව මේ වන විට ගුවන් යානා අතිරික්තයක් ඇති බවත් මෙම ගුවන් යානා වෙනත් ගුවන් මාර්ගවල පියාසර කිරීමට නොහැකි බැවින් ඒවා කල්බදු පදනම යටතේ වෙනත් ගුවන්සේවා සඳහා ලබා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. අද (21) දින එම අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම තීරණය අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය සතු A330 ගුවන් යානා 4 ක් අර්ධ කල්බදු (wet lease) පදනම යටතේ පාකිස්තානු ජාත්‍යන්තර ගුවන්සේවය වන PIA වෙත ලබාදීමට කටයුතු කරනු ලබන බවයි. මේ අනුව පළමු ගුවන්යානය ලබන මස තුළ දී PIA ගුවන් සේවය වෙත පැවරීමට නියමිතය. ඉතිරි ගුවන්යානා 3 වසර 4 ක කාලයක් වෙනුවෙන් අර්ධ කල්බදු පදනමින් ලබාදීමට ඉදිරියේ දී පියවරගනු ඇත.

    මෙම අර්ධ කල්බදු පදනම යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු සම්පූර්ණ කාර්ය මණ්ඩලය ද ගුවන්යානාය සමඟ පැවරෙන අතර ගුවන්යානා හි සන්නාමකරණය PIA යටතේ සිදුවනු ඇත.

    මෙහිදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ ලන්ඩන්-ලාහෝර්, ඉස්ලාමාබාද් ගුවන් මාර්ගවල මෙම ගුවන් යානා යෙදවෙනු ඇති බවයි.

    මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල පළ වී තිබුණු අයුරින් චීනයේ Hainan ගුවන්සේවය, ශ්‍රීලංකන් ගුවන් සේවයේ කළමනාකාරීත්වය භාර ගැනීම පිළිබඳව කිසිදු එකඟතාවයකට මෙතෙක් පැමිණ නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.