ආසියා ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන සමුළුව ශ්‍රී ලංකාවේදී

    July, 24, 2016

    සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන ආසියා ශාන්තිකර කලාපීය සමුළුව 2016 අගෝස්තු 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ දී පැවැත්වේ.

    රාජ්‍යයන් ඇතුළත මෙන්ම දේශ සීමාවන් හරහා සිදු කරන ගුවන් ප්‍රවාහනයේ දී නිරුපද්‍රතතාවය, සුරක්ෂිතතාවය, ක්‍රමවත්භාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම (නියාමන කටයුතු) අදාළ රටේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම වේ. සිවිල් ගුවන් සේවාවට අදාළ ජාත්‍යන්තර රීති සහ ප්‍රමිති ඒකාකාරී සහ ස්ථිර පදනමක් මත ක්‍රියාත්මක කිරීම හා අනුගමනය කිරීම පොදු අරමුණක සිට සාමූහිකව කටයුතු කිරීමේ අරමුණ ඇතිව 1960 වර්ෂයේ සිට වාර්ෂිකව මෙම සමුළුව පැවැත්වේ.

    මීට පෙර 1990 දී 26 වන සමුළුව ලංකාවේදී පැවැත්වූ අතර 2016 මෙවර පැවැත්වෙන්නේ දෙවන වරටය.

    (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ නියෝජිත ආයතනයක් වශයෙන් 1944 වර්ෂයේ සම්මත කරන ලද ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියෙහි විධි විධාන යටතේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) පිහිටුවන ලදී. 1948 වර්ෂයේ ශ්‍රී ලංකාව ද එම සම්මුතියේ පාර්ශවකරුවෙක් බවට පත්විය).

    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධිනයේ (ICAO) ආසියා ශාන්තිකර කලාපීය වාර්ෂික වැඩ සටහනේ අදාළ රාජ්‍යයන්හි සිවිල් ගුවන් සේවා බලධාරින්ගේ ප්‍රධානම හමුවීම වන්නේ මෙම සමුළුව වන අතර, කලාපිය ගුවන් සේවා ප්‍රගමනය වෙනුවෙන් ඉතා වැදගත් කරුණු සාකච්ඡා කිරීමට මෙවර න්‍යය පත්‍රයට ඇතුළත් කර ඇත.

    මෙම සම්මේලනයට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයා හා මහලේකම්වරයා මෙන්ම කලාපීය අධ්‍යක්ෂවරයා ද සහභාගි වේ. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයෙක් හා මහ ලේකම්වරයෙක් ලංකාවට පැමිණෙන්නේ එම සංවිධානයේ 71 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට වේ.

    මෙම සම්මේලනයට ආසියා ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා බලධාරීන්ට අමතරව සිවිල් ගුවන් සේවා නියාමකයන් හා හවුල්කාර සමාගම් රැසක් සහභාගි වේ. එක්සත් ජනපදයේ FAA ආයතනය, යුරෝපයේ EASA ආයතනය, ගුවන් සංතරණ සැපයුම්කරුවන් (ANSPS), ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA), ජාත්‍යන්තර නියමු සංගමය (IFALPA), ජාත්‍යන්තර ගුවන් තොටුපළ කවුන්සලය ^ACI&, සිවිල් ගුවන් සංතරණ සේවා සංවිධානය ^CANSO&, ජාත්‍යන්තර ගුවන් ගමන් පාලක සංගමය (IFATCA), ආසියා ශාන්තිකර ගුවන් ප්‍රවාහන සමාගම ^AAPA&, එයාර් බස්, බෝයිං හා උපකරණ නිෂ්පාදන ආයතන, ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන රැසක් සහභාගි වන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්. සී. නිමල්සිරි මහතා පවසයි. ඒ අනුව නියෝජිතයන් 350 කට ආසන්න පිරිසක් මෙම 53 වන සමුළුවට එක්වීමට නියමිතය.

    යෝජිත සමුළුව 2016 අගෝස්තු 01 සිට 05 වන දින දක්වා දින 05 ක් මුළුල්ලේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ. අගෝස්තු 01 වන දින පැවැත්වෙන සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සහ ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

    මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාව සභාපතිත්වය දරන ආසියා ශාන්තිකර කලාපීය ගුවන්සේවා නිරුපද්‍රතතා කණ්ඩායම හා ගුවන්සේවා සුරක්ෂිතතා රැස්වීම ද පැවැත්වේ. කලාපීය ගුවන් සේවා නිරුපද්‍රතතාවය, සුරක්ෂිතතාවය, ගුවන් ප්‍රවාහනය, පාරිසරික සහ තාක්ෂණික සහයෝගීතාව ආදියට අදාළ තාක්ෂණික සහ වෘත්තීය ක්ෂේත්‍රයන් හි දැනට ඉටු කෙරෙන කාර්යයෙහි විමර්ශනය සහ අනාගත සැළසුම් මෙහිදී සාකච්ඡා කෙරේ. තවද මෑතකදී සිදු වූ ගුවන් අනතුරු වලට තුඩුදුන් හේතු පදනම් කරගෙන එවැනි අනතුරු නැවත නොවිම පිණිස ගුවන් පියැසරි ඉලියීම (flight tracking) සයිබර් ආරක්ෂණ සූදානම සහ විධි විධාන පිළිගැටුම් (conflicts area) අවදානම් කළමණාකරනය මග හැරීම, පරිසර සංරක්ෂණය, ජගත් ගුවන් සේවා ආරක්ෂණ සැළැස්මක අවශ්‍යතාව, ගුවන් අවකාශයේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ලිතියම් බැටරි ගුවනින් ප්‍රවාහනය, ඊළඟ පරපුරට අවශ්‍ය මානව සම්පත් ඉල්ලුම සපුරාලීම, ගුවන් තොටුපල මහජන කලාප ආරක්ෂාව, ගෝලීය ගුවන් අවකරණ ආපදා සහ නිරුපද්‍රතතා පද්ධතියක් ඇති කිරීම ආදී කාලීන වශයෙන් වැදගත් මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡාවට ගැනෙන අතර —කිසිදු රටක් අත නොහැර, පරිසර හිතකාමීව ගුවන් ප්‍රවාහන පද්ධතියේ නිරුපද්‍රතතාව, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව පෝෂණය කිරිම සුරක්ෂිතතාවය, ක්‍රමවත්භාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම ˜ යන තේමාව යටතේ විශේෂ සාකච්ඡා පත්‍ර රාශියක් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ඉදිරි වර්ෂය සඳහා ගෝලීය ගුවන් සේවා නිරුපද්‍රතතා සැළැස්මට සහ ගෝලීය ගුවන් සංතරණ සැළස්මට අනුකූල වෙමින්, ආසියා ශාන්තිකර කලාපයේ කලාපීය සිවිල් ගුවන් සේවා තාක්ෂණික හා යටිතල පහසුකම් සැලසුම විකාශනය වනු ඇත්තේ මෙම සාකච්ඡාවන්ට අනුකූලව එහි ප්‍රතිඵලයක් වශයෙනි.

    මෙවර 53 වන සම්මේලනයේ සත්කාරත්වය ශ්‍රී ලංකාව විසින් සපයනු ලැබේ. ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවේ ඉදිරි ගමනට මෙය ඉතා මහඟු අවස්ථාවක් වන අතරම රටේ සංස්කෘතික, ආගමික සහ සාමාජීය ක්‍රියා කාරකම හුවා දක්වමින් රටතුළ සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමට ද මෙම සමුළුව දායකවේ යැයි අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙය සංවිධානය කරනු ලබයි.


    H.M.C.Nimalsiri
    Directors General of Civil Aviation / CEO
    Civil Aviation Authority of Srilanka