ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ අධිකාරියේ පළමු මාස 6 තුළ මෙහෙයුම් ලාභයේ 78%ක වර්ධනයක්

    August, 19, 2025

    පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි මෙහෙයුම් ලාභය 78% කින් ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

    2024 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 9,049 ක් ලෙස සටහන් වූ අතර 2025 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 16,133 ක් ලෙස සටහන් වී ඇත.

    2025 පළමු මාස 6 තුළ ගුවන් ගමන් වාර 32,423 ක් සම්පූර්ණ කර ඇති අතර ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමග එය සැළකිය යුතු ලෙස වර්ධනය කිරීම ගුවන් තොටුපල අධිකාරියේ අපේක්ෂාවයි.

    මේ අතර ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසන්නේ 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ගුවන්ගමන් වාරවල ද 16%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.

    ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල 17% ක පමණ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර දේශීය ගුවන්ගමන් වාරවලද 10% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

    ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල වර්ධනයේ වැඩිම අගය මාර්තු මාසයේ පෙන්නුම් කරනු ලබන අතර එය 2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 22% ක වර්ධනයකි.

    දේශීය ගුවන් ගමන් වාර වර්ධනයේ වැඩිම අගය ජුනි මාසයේ පෙන්නුම් කරනු ලබන අතර එය 2024 වසරට සාපේක්ෂව එය 38%ක වර්ධනයකි.

    ඉදිරි සංචාරක සමය ආරම්භයත් සමග ගුවන් ගමන් වාර තව දුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ගුවන් ගුවන්තොටුපොළ අධිකාරිය පවසයි.