August, 20, 2025
ගීතය කියන මෙවලම වෙළඳභාණ්ඩයක් ලෙස භාවිතා කරන්නේ නම් එයට හිමි කර්තෘභාගය ගෙවීමට කාරුණික වන ලෙස ගීතය උපයෝගි කරගන්නා වූ සෑම තලයකම පුද්ගලයින් ඉල්ලා සිටින බව ප්‍රවීණ ගීත රචක නිලාර් එම්. කාසිම් මහතා පවසයි.
ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේ ය.
තව ද එම සංගමය එහි දී පෙන්වා දුන්නේ ගීතයක කර්තෘ හිමිකම දරන ගී පදරචකයන් සහ සංගීතඥයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති ජාත්‍යන්තර නීතියට පටහැනිව ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවයි.
"ගීතයක් සම්බන්ධව තියන කර්තෘ හිමිකම තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගීත රචකයාට සහ සංගීතවේදියාට. ගායකයාටත් මේ පිළිබඳව කිසියම් බුද්ධිමය හිමිකමක් තියනවා. ඔහුට හෝ ඇයට ඕනෑම ගීතයක් ප්රාසාංගිකව ඕනෑම තැනක ඉදිරිපත් කරලා ඒ සම්බන්ධව ඔහුට මුදලක් උපයා ගන්න, කීර්තියක් ලබා ගන්න, ගෞරවයක් ලබා ගන්න, හැකියාවක් අයිතිවාසිකමක් තියනවා. හැබැයි මේ බුද්ධිමය දේපළ හිමිකාරිත්වය තියන අයගේ මේ නිර්මාණ වෙනත් තැන් වල භාවිත කරනවනම්, ඇසුරු කරනවනම් ඒකට අදාළ නිශ්චිත වටිනාකමක් අපි ලබාදිය යුතුයි. බුද්ධිමය දේපළ හිමිකාරිත්වය දරණ අයට අපි කිසියම් කර්තෘභාගයක් ගෙවන්නට ඕන ඒ දේවල් පාවිච්චි කරද්දි. අපි දන්නවා අද ලංකාවේ ගීතය වෙළඳ භාණ්ඩයක් බවට පත්කරගෙන තියනවා. වෙළඳ මාධ්‍යයක් බවට පත් කරගෙන තියනවා. හැබැයි මේ සඳහා වූ කර්තෘ හිමිකම ගෙවන්නට බොහෝ දෙනෙක් පැකිලෙනවා. ඒකට හේතුව මේ පිළිබඳව අවබෝධයක් නැති කම. ඒ නිසා මේ ජාත්‍යන්තර සම්මුතීන් ආරක්ෂා කරලා තමයි මේ දේවල් කරන්න ඕන. ගීතය උපයෝගි කරගන්නා වූ හැම තලයකම, හැම සංවිධායකවරයෙකුම මාධ්‍ය ආයතන සහ වෙනත් අයගෙන් ඉල්ලා සිටිනවා කාරුණිකව ඔබ ගීතය කියන මෙවලම වෙළඳ භාණ්ඩයක් විදිහට භාවිතා කරනවනම් මේකට හිමි කතෘභාගය ගෙවන්න කියන කාරණය."
Video Story