කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අගෝස්තු 24 දා ගෝල්ෆේස් පිටියේ දී

    August, 21, 2025

    එළබෙන අගෝස්තු 24 වැනි දා ගෝල්ෆේස් පිටියේ දී පැවැත්වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට ඉතාමත් හොඳ අවස්ථාවක් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වූ අවස්ථාවේදී යි.

    ශ්‍රී ලංකාව තුළ City Branding යන සංකල්පය ඉහළට ගෙන ඒම කළ යුතු බවත්, ඒ සඳහා කොළඹ ලෝකය තුළ Brand එකක් බවට පත් කිරීමට, ජාත්‍යන්තරයට රැගෙන යාමට මෙවැනි සැණකෙළි විශාල වශයෙන් අවශ්‍ය බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී පවසා සිටියේය.

    "රටවල් 25කට අධික ප්‍රමාණයකින් ජාත්‍යන්තර තරගකරුවන් 55ක් සහ දේශීය වශයෙන් 500කට අධික තරගකරුවන් මෙවර මේ ජාත්‍යන්තර කොළඹ පැවැත්වෙන සරුංගල් සැණකෙළියට සහභාගී වෙනවා. මම හිතනවා සංචාරක අමාත්‍යාංශය විදිහට අපිට ඉතාමත් හොඳ අවස්ථාවක් මේ සැණකෙළිය ශ්‍රී ලංකාවේ නාමය, විශේෂයෙන්ම ජනාධිපතිතුමා අයවැය කතාවෙදිත් කිව්වා අපේ රටේ මේ City Branding කියන concept එක අපි ඉහළට ගන්න ඕන කියලා. ඉතින් අපි කොළඹ ලෝකය තුළ අපිට brand කරන්න නම් මේ වගේ සැණකෙළි විශාල වශයෙන් අපිට අවශ්‍යයි. ජාත්‍යන්තරයට අපි යන්න අවශ්‍යයි."

    තව ද මේ වන විට විදෙස් සංචාරකයින් තමන්ට සංචාරය කිරීමට සුදුසු රටවල් තොරාගැනීම සඳහා වැඩි වශයෙන් කෘතීම බුද්ධිය භාවිතා කරන බැවන් ශ්‍රී ලංකාව පිළිබඳව digital contents ගොඩනැගීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බව ද මහාචාර්ය රුවන් රණසිංහ මහතා එහි දී පවසා සිටියේ ය.

    එවැනි digital contents ගොඩනැගීම සඳහා ඉදිරි දින කිහිපය තුළ කොළඹ පිළිබඳව, මෙම තරගාවලිය පිළිබඳව සයිබර් අවකාශයට එකතු වන කරුණු තුළින් ශ්‍රී ලංකාවට සංචාරක ගමනාන්තයක් විදිහට ඉහළට ඒමට හැකිවේ යැයි තමා අපේක්ෂා කරන බව ද ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ ය.

    "අපි දන්නවා සංචාරකයෝ අද තමන් යන්නේ කොහෙද කියලා හොයන්නේ මේ සර්ච් එන්ජින් වල එහෙම නැත්නම් කෘතීම බුද්ධිය පාවිච්චි කරලා. ඉතින් ඒකට අපිට digital contents ගොඩක් අවශ්‍යයි. මේ වගේ event එකක් තුළින් මම හිතනවා විශාල වශයෙන් අපේ රට පිළිබඳව, සැණකෙළි පිළිබඳව, කොළඹ පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ මේ තරගාවලිය පිළිබඳව සයිබර් අවකාශයට විශාල වශයෙන් එකතු වෙයි කියලා content. ඉතින් ඒ හරහා මම හිතනවා ශ්‍රී ලංකාවට සංචාරක ගමනාන්තයක් විදිහට ඉහළට එන්න පුළුවන්."

    ශ්‍රී ලංකාවේ කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට නම්, කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය වැනි ජාත්‍යන්තර මට්ටමේ ඉසව් සංවිධානය කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව දෙරණ මාධ්‍ය ජාලයෙහි විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා මෙහිදී පැවසීය.

    "අපි හිතනවා ලංකාව සංචාරක කර්මාන්තයක් විදිහට දියුණු කරන්න. අපි අපේ මේ අදහස් නියෝජ්‍ය ඇමතිතුමාට ඉදිරිපත් කළාම එතුමා ඇත්තටම ඒක ඉතාමත් සුහදව පිළිගත්තා. පිළිඅරගෙන අපිට ඉතාමත් සහයෝගෙන් වැඩ කරන්න tourism bureau එකත් එක්ක සහයෝගෙන් වැඩ කරන්න අපිට අවස්ථාව හදලා දුන්නා. ඉතින් අපි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියත්, ඒ වගේම ශ්‍රී ලංකා පොලීසිය, ඒ වගේ ආයතන එක්ක එකතු වෙලා මේ ජාත්‍යන්තර සැනකෙළිය අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මෙහි දී අපි බලාපොරොත්තු වෙන විශේෂ කාරණා දෙකක් තියනවා. එකක් තමයි රටක් විදිහට මේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් අපි මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සැණකෙළි ලංකාවට ගේන්න ඕන. මෙවැනි Events ලංකාවේ තියන්න ඕන. එවැනි සංචාරක ප්‍රවර්ධනය කිරීම සඳහා Events එකක් පැවැත්වීම තමයි පළවෙනි අරමුණ."