කොටස් වෙළෙඳපොළේ උච්ඡාවචනයන් ඉහළ දිනයක්

    August, 21, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ උච්ඡාවචනයක් දක්නට ලැබුණු අතර අද (21) උදෑසන ගනුදෙනු සමයේ දී සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුවද, දිවා කාලයේ දී එහි යම් පසුබැස්මක් වාර්තා විය.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 0.69කින් ඉහළ ගොස් ඒකක 20,715.49ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 3.49කින් ඉහළ ගොස් ඒකක 6,108.49ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 112ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 101කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    එහි දී ඩයලොග් ආසියාටා, සන්ෂයින් හෝල්ඩිංග්ස්, රෝයල් සෙරමික් ලංකා, කෝපරේටිව් ඉන්ෂුවරන්ස් කම්පැනි සහ ඇම්බියන් හෝල්ඩිංග්ස් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 10.52ක් ලෙසයි.