වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමේ දීමනා ගෙවීමට එකඟවෙයි

    July, 26, 2016

    වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීමට අදාළ අන්තර්කාලීන දීමනාව, හිඟ මුදල් ද සමඟ වහාම ගෙවීමට හාම්පුතුන්ගේ සම්මේලනය එකඟ වූ බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    මේ එකඟතාවයට එළැඹුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියෝජනය කරන හාම්පුතුන්ගේ සම්මේලන නියෝජිතයන් අතර ඊයේ (25) අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

    මේ වැටුප් වැඩි වීමට අදාළ දීමනා ගෙවීමට අවශ්‍ය මූල්‍ය සහතිකය මුදල් අමාත්‍යංශය විසින් ලබා දී ඇති අතර, තේ මණ්ඩලය සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් ඇති කර ගන්නා ගිවිසුමට අනුව මූල්‍ය ප්‍රතිපාදන ලංකා බැංකුව සහ මහජන බැංකුව හරහා සමාගම් වෙත අද (26 ) ලබා දෙනු ඇත.

    සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ ප්‍රධාන රජයේ නිලධාරීහු ද, හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කණිෂ්ක වීරසිංහ ඇතුළු වැවිලි සමාගම් නියෝජිතයෝ ද මේ සාකච්ඡාවට එක් වූහ.