වේරහැරට නොගොස් රියැදුරු බලපත්‍ර අලුත් කිරීමේ නව ක්‍රමයක් ළඟදීම

    August, 27, 2025

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාව වෙත පසුගිය (25) දින නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු විය.

    එම නිරීක්ෂණ චාරිකාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා සහභාගී වූහ.

    මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරුන් අවධාරණය කළේ, රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන මුද්‍රණාත්මක වෛද්‍ය සහතිකවල විනිවිදභාවය සම්බන්ධ ගැටලු සහ සමහර අක්‍රමිකතා අනාවරණ වී ඇති බවයි. ඒ හේතුවෙන්, එම ක්‍රියාවලියට මාර්ගගත ක්‍රමවේදයක් යොදා ගෙන අක්‍රමිකතා අවම කිරීම අත්‍යවශ්‍ය බව ඔවුහු පැවසීය.

    තවද, රියදුරු බලපත්‍රය අලුත් කිරීමට දැන් ජනතාවට වේරහැරට පැමිණිය යුතු වීම විශාල අපහසුතාවක් බවත්, ඉදිරි මාසය තුළ දී මෙම ක්‍රමය වෙනස් කර, 60% කින් කාර්‍යක්ෂමතාව වැඩිකරන්නා වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කළහ.

    මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අවන්ති සේනාරන්න, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනී අරෝෂා විද්‍යාභූෂණ සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.