කටුනායකට නව මගී පර්යන්තයක්. ධාවන පථ අලුත්වැඩියාව ජනවාරියේ ඇරඹෙයි

    July, 26, 2016

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථයේ නවීකරණ කටයුතු එළඹෙන ජනවාරි මාසයේ දී ආරම්භ වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ආසියානු ශාන්තිකර කලාපීය සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53වන සමුළුව අගෝස්තු 01 සිට 05 දක්වා කොළඹදී පැවැත්වෙන බව නිවේදනය කිරීම සඳහා අද (26) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මේ අනුව එළඹෙන 2016 ජනවාරි 05 වන දින සිට මාස 3 ක කාලයක් සඳහා දිනකට පැය 8 බැගින් කටුනායක ගුවන්තොටුපළ ගුවන්ගමන් සඳහා වසා දැමෙනු ඇත. අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ අදාළ කාලය තුළ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් ගමන් සඳහා විවෘත නොවන බවයි.

    මේ අතර කටුනායක ගුවන්කොටුපළේ නව ගුවන් මගී පර්යන්තයක් ඉදිකිරීමේ කටයුතු එළඹෙන නොවැම්බර් මාසයේ දී ආරම්භ කෙරෙන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. මෙය කටුනායක ගුවන්තොටුපළට එක්වන දෙවන මගී පර්යන්තයයි.