ස්වාධීන ගුවන්යානා අනතුරු විමර්ශන කාර්යාංශයක් ස්ථාපිත කිරීමට පියවර ගැනේ

    July, 28, 2016

    ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතිය යටතේ වන බැඳීම් ප්‍රකාර ගුවන්යානා අනතුරු හා සිදුවීම් විමර්ශනය කිරීම සඳහා වන ස්වාධීන ආයතනයක් වශයෙන් 'ශ්‍රී ලංකා ගුවන්යානා අනතුරු විමර්ශන කාර්යාංශය' ස්ථාපිත කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    ශ්‍රී ලංකාවද පාර්ශ්වකරුවකු වන ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියෙහි විධිවිධාන අනුව සෑම සාමාජික රාජ්‍යයයක් විසින්ම තම අධිකරණ බල ප්‍රදේශය තුළ සිදු වන ගුවන්යානා අනතුරු හා ඒවාට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම පිණිස ස්වාධීන සංවිධානයක් ස්ථාපිත කිරීම අවශ්‍ය වේ.

    ගුවන් සේවාවන්හි සුරක්ෂිතතාව වර්ධනය කිරීමටත්, අනාගතයේ සිදුවිය හැකි ගුවන්යානා අනතුරු හා සිදුවීම් වැළැක්වීමටත්, යම් අනතුරකට හෝ එබඳු අනපේක්ෂිත සිදුවීමකට හේතු වූ සාධක හඳුනා ගෙන ගුවන්සේවා පද්ධතීන්හි වැඩිදියුණුව සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙහි අරමුණ වේ.

    2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනත අනුව ශ්‍රී ලංකා දේශ සීමාව තුළ සිදු වන ගුවන්යානා අනතුරු හා අනපේක්ෂිත සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙතය.