සංචාරකයින්ගේ පැමිණීම වැඩිවුණත් ලැබෙන ආදායම වැඩිවෙලා නැහැ

    September, 15, 2025

    මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ක්‍රමික වර්ධනයක් දක්නට හැකි වුවද, සංචාරක ඉපැයීම්වලින් එම වර්ධනීය ප්‍රවණතාව පිළිබිඹු නොවන බවක් නිරීක්ෂණය වේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවලට අනුව 2025 අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 198,235කි. මෙය 2024 වසරේ මෙටට පැමිණ තිබෙන 164,609 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී 20.4%ක වර්ධනයක් වේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2025 අගෝස්තු මාසයේ සංචාරක ඉපැයීම් වාර්තා වන්නේ එක්සත් ජනපද ඩොලර් මිලියන 258.9 ක් ලෙසිනි. මෙය 2024 අගෝස්තු මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 282.1ට වඩා 8.22%ක පහළ යාමක් වේ.

    තවද 2024 ජූලි මාසයේ දී මෙරටට පැමිණි 187,810ක සංචාරකයින් ප්‍රමාණයට වඩා 6.6%ක වැඩි ප්‍රමාණයක්, එනම් 200,244 ක සංචාරකයින් පිරිසක් 2025 ජූලි මාසයේ දී මෙරටට පැමිණ තිබුණ ද, 2025 ජූලි මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 318.5ක්වූ සංචාරක ඉපැයීම් ප්‍රමාණය, 2024 ජූලි මාසයේ සටහන්ව ඇති ඩොලර් මිලියන 328.3 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයට වඩා 2.98%ක පහළ යාමක් පෙන්නුම් කරනු ලබයි.

    සමස්තයක් ලෙස 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ මෙරටට පැමිණ ඇති 1,566,523ක සංචාරකයින් ප්‍රමාණය 2024 වසරේ සමාලෝචිත වකවානුවේ පැමිණි 1,362,668ක සංචාරකයින් ප්‍රමාණයට වඩා 15%ක වර්ධනයක් සනිටුහන් කරනු ලබයි. නමුත් මෙම කාලපරිච්ඡේදය තුළ සංචාරක ඉපැයීම් වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 2,167 සිට ඩොලර් මිලියන 2,290 ක් දක්වා 5.7% ක ප්‍රමාණයකිනි.

    මේ අතර අද දෙරණ කළ විශ්ලේෂණයක දී නිරීක්ෂණය වන්නේ මෙරටට පැමිණෙන එක් විදෙස් සංචාරකයෙකු විසින් දරනු ලබන සාමාන්‍ය වියදම මේ දක්වා කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වීමට අපොහොසත් වී ඇති බවයි. මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ ස්වර්ණමය වර්ෂය වූ 2018 වසරේ දී මිලියන 2.33 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබූ අතර ඩොලර් බිලියන 4.38ක සංචාරක ඉපැයීමක් එම වසරේ දී වාර්තා වුණි. එහිදී එක් සංචාරකයෙකුගේ සාමාන්‍ය වියදම සටහන් වූයේ ඩොලර් 1877.03ක් ලෙසිනි. එම අගය 2015 වසරේ දී ඩොලර් 1,657.44 ක් ලෙසින් ගණනය කළ හැකි අතර 2025 වසරේ මේ දක්වා එම වටිනාකම ඩොලර් 1,461.84 ක් වේ.

    2015 සිට මේ දක්වා එක් එක් වර්ෂවල දී මෙටට පැමිණි විදෙස් සංචාරකයින් ප්‍රමාණය හා වාර්ෂික සංචාරක ඉපැයීම් පහත වගුවෙන් දැක්වෙන අතර එක් සංචාරකයෙකුගෙන් ලද සාමාන්‍ය ඉපැයීම ද ඒ අනුව ගණනය කර තිබේ.