ක්ෂණික පිළියම් ආර්ථිකයට හිතකර නැහැ – මහ බැංකු අධිපති කොටස් වෙළෙඳපොළේ දී කියයි VIDEO

    July, 28, 2016

    ලෝකයේ ඉහළ මට්ටමේ කොටස් වෙළෙඳපොළක් අපට තිබෙන බවත් එය තව තවත් ශක්තිමත් කරන්නට සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සමාරම්භය හා එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිපතිවරයා කියා සිටියේ දේශීය හා විදේශීය ඉතුරුම්, ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත පැවරී තිබෙනවා.

    “මේ අවස්ථාවේ දක්නට ලැබෙන පිරිවැටුම්, ප්‍රාග්ධනීකරණය ආදිය තිබෙන්නේ හොඳ මට්ටමක නොවෙයි. අපි දකින විදියට ආර්ථිකයේ ක්ෂණික පිළියම් යෙදීම් සාර්ථක වෙන්නේ නැහැ. ආර්ථිකය සම්බන්ධයෙන් ක්ෂණික පිළියම් යෙදීම් අපි සිතන්නේත් නැහැ. වත්කම් වෙළෙඳපොළ හෝ ඕනෑම දෙයක් කෘතිමව ඉහළ නංවන්න කරන කටයුතු කිසිසේත් ආර්ථිකයට උපකාරී වන්නේ නැහැ“, යැයි ආචාර්ය කුමාරස්වාමි මෙහිදී පැවසීය.

    තවද ආර්ථික වර්ධනය තහවුරු කිරීම සඳහා ඉතා වැදගත් වන්නේ මූලික මූලධර්ම ක්‍රියාත්මක කිරීම බවත් සමාගම්වලට ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යාමට හැකිවීම, ලාභ ලැබීම, රැකියා උත්පාදනය, ආදියේ සඳහා පදනම මෙකී මූලධර්මවලින් ලැබෙන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා කොළඹ කොටස් වෙළෙඳපොළේ දී කළ සම්පූර්ණ කතාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=qP0Qqf2A_ak