September, 24, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය නව පස් අවුරුදු ක්‍රමෝපායික සැලැස්ම දියත් කිරීමට සමගාමීව නව ඉදිරි ගමනක ආරම්භය සනිටුහන් කර තිබේ. මෙය වාණිජ අභිලාෂයන් මෙන්ම මෙහෙයුම් විශිෂ්ටත්වය, හවුල්කරුවන්ගේ දායකත්වය සහ පරිසර හිතකාමීත්වය එක්තැන් කරන සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත. විශේෂයෙන්ම පසුගිය වසරක කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය එහි වත්මන් නායකත්වය යටතේ ගුවන් යානා එකතුව ප්රශස්ත ලෙස කළමනාකරණය කිරීම, ආදායම් වර්ධනය කරගැනීම, පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම, මානව සම්පත් සංවර්ධනය කිරීම, තිරසාරත්වය සහතික කිරීම, පිරිවැය අවම කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනාදී අංශ සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ.
ගෝලීය මට්ටමින් පැවති එන්ජින් හා අමතර කොටස් හිඟය සහ කාර්යසාධන අභියෝග මධ්‍යයේ වුවද සිය ගුවන් යානා එකතුව මැනැවින් කළමනාකරණය කරගැනීම හේතුවෙන්, 2024 වසරේදී 69% ක් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාලානුගතිකත්ව කාර්යසාධනය (On-time performance) මෙම වසරේදී 74% දක්වා ඉහළ ගොස් ඇත. අතිනවීන ගුවන් යානා කළමනාකරණ මෘදුකාංග භාවිතයට ගැනීම ඔස්සේ ගුවන් යානා නඩත්තු කටයුතු කඩිනම් කිරීමටත්, වඩාත් සාර්ථක ලෙස කාලවේලාවන් වෙන්කිරීමටත්, නිසි පරිදි අමතර කොටස් තොග පවත්වාගෙන යාමටත් හැකි වී තිබේ. මීට අමතරව නවීනතම තාක්ෂණය භාවිතයට ගැනීම හේතුවෙන් ආයතනයේ ප්‍රධාන පෙළේ රාජකාරි මෙහෙයුම් හා ක්‍රියාවලි රැසක් ස්වයංක්‍රීය කිරීමට හැකි වී ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ සියල්ල සිදුකරන ලද්දේ පාරිභෝගිකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට මුල් තැන දෙමිනි.
මීට අමතරව, එන්ජින් නොමැතිකම හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙයුම්වලින් ඉවත් කර තිබූ ගුවන් යානා දෙකක් මේ වන විට නැවත සේවයට එක් කර ඇති අතර, ලබන වසර මුලදී තවත් ගුවන් යානයක් එලෙස නැවත සේවයට එක්වීමට නියමිතය. තවද පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් Airbus A330-200 Wide-body ගුවන් යානයක් බදු පදනම මත ලබාගන්නා ලදි. ශ්‍රීලංකන් ගුවන් සේවයට Wide-body ගුවන් යානයක් අලුතින් එක් වූයේ වසර හතකට පසුව වන අතර, මෙමගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට හැකියාව ලැබී තිබේ.
පසුගිය වසරක කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් මාර්ග නැවත සමාලෝචනය කිරීම, ඉල්ලුමට අනුව කාලසටහන් සැකසීම සහ ඩිජිටල් විකුණුම් ක්‍රම වැඩිදියුණු කිරීම ආදිය ඔස්සේ තම සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කරගනිමින් ආදායම වර්ධනය කරගැනීමට සමත් විය. මේ වන විට වේගයෙන් වර්ධනය වන ඉන්දියානු වෙළඳපොළට වඩාත් විශිෂ්ට සේවාවක් සැපයීමේ අරමුණින්, විශේෂයෙන් බැංගලෝර්, කොචි සහ හයිද්‍රාබාද් ඇතුළු ඉන්දියානු නගර කිහිපයක් කරා ක්‍රියාත්මක වන ශ්‍රීලංකන් ගුවන් ගමන් වාරවල කාලසටහන් වැඩිදියුණු කර තිබේ.
2025 ජූලි මාසයේ සිට ශ්‍රීලංකන් ගුවන් ගුවන් සේවය සිංගප්පූරුව, ක්වාලාලම්පූර් සහ බැංකොක් වෙත දිනකට දෙවරක් බැගින් ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අතර, ඩුබායි වෙත අතිරේක ගුවන් ගමන් වාර හතරක් හඳුන්වා දුන්නේය. මීට අමතරව කෙටි දුර ගුවන් ගමන් වාර තුළදී පාරිභෝගිකයන්ට ගෙවන මිලට උපරිම වටිනාකමක් ලැබෙන ආකාරයට එම සේවාවන් සංශෝධනය කිරීමටද පියවර ගන්නා ලදි. තවද පවතින ඉල්ලුමට අනුව කෙටි දුර සහ මධ්‍යම දුර ගුවන් ගමන් මාර්ගවල වඩාත් කාර්යක්ෂම ලෙස ගුවන් යානා යෙදෙවීම සඳහා විශේෂ ධාරිතා කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට පියවර ගෙන තිබේ. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2025/26 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ආදායම 10% කින්ද, මගීන් සංඛ්‍යාව 22% කින්ද, ධාරිතාව 10% කින්ද වර්ධනය විය.
එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවය පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා නවතම විසඳුම් මාලාවක්ද හඳුන්වා දී තිබේ. ඒ අතරට ගුවන් ගමන් අතරතුර රැහැන් රහිත විනෝදාස්වාද පහසුකම් (Wireless inflight entertainment), තම අවශ්‍යතාවන්ට අනුකූලව බාධාවකින් තොරව ඩිජිටල් සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා කෘතිම බුද්ධි තාක්ෂණයෙන් (AI) බලාත්මක ‘Yaana’ නම් පාරිභෝගික සේවා චැට්බොට් සේවාව සහ සුහුරු ගුවන් තොටුපළ ස්වයං සේවා විසඳුම් පෙළක් (Smart airport self-service) ඇතුළත් වී ඇත. මෙම වැඩසටහන් සියල්ල පාරිභෝගික තෘප්තිය වැඩිදියුණු කිරීමට විශාල වශයෙන් දායක වී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සිදු කළ සමීක්ෂණ මගින් හෙළි වී තිබේ.
දකුණු ආසියානු කලාපය තුළ තිරසාරත්වය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම ගුවන් සේවාවක් වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නාස්තිය අවම කිරීම අරමුණු කරගත් නව පියවරයන් සඳහා කැපවී සිටී. ඩිජිටල් ගුවන් ගමන් නිරීක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ ඉන්ධන භාවිතය ප්රශස්ත කිරීම සහ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කාර්යාල ක්‍රියාවලීන් තවදුරටත් ස්වයංක්‍රීයකරණය කිරීම සහ ශ්‍රීලංකන් කේටරින් හි බලශක්ති ඉතිරිකිරීමේ පිළිවෙත් සහ තත්‍ය කාලීන අධීක්ෂණයන් ක්‍රියාත්මක කිරීම ඇතුළු නව තිරසාර පියවර රැසක් ක්‍රියාවට නංවා තිබේ.
මෙම පස් අවුරුදු ක්‍රමෝපායික සැලස්ම හේතුවෙන්, මෑතකාලීනව වාර්තා වූ ගුවන් ගමන්වලට බාධා ඇති වීමේ සිද්ධි ඇතුළු විවිධාකාර වූ ගැටලු අවම කරගනිමින්, තම මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට මේ වන විට හැකියාව ලැබී ඇත. ඉදිරියේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ගුවන් යානා එකතුව පුළුල් කිරීම, ගෝලීය තිරසාර ක්‍රමවේදයන් භාවිතයට ගැනීම සහ මගීන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කරන නවතම තාක්ෂණයන් භාවිතය ගැනීම වැනි ක්‍රම ඔස්සේ මූල්‍ය ස්ථාවරත්වය ළඟා කරගනිමින් දිනෙන් දින දියුණුව කරා ගමන් කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණ වී තිබේ.
Video Story