ධම්මික තවත් සමාගමක් අත්පත් කරගනී

    September, 26, 2025

    මෙරට ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන LB Finance PLC විසින්, තවත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Associated Motor Finance Company PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට තීරණය කර තිබේ.

    ඒ අනුව Associated Motor Finance Company PLC හි ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනා වන නාලත දයාවංස සහ Imperial Import & Export Co. (Pvt) Ltd සතුව ඇති පිළිවෙලින් මිලියන 45.27 ක් සහ මිලියන 29.06ක් වන කොටස් හිමිකාරීත්වයන් LB Finance විසින් මිල දී ගැනීමට කටයුතු කරන බව LB Finance අද (26) දිනයේ දී නිවේදනය කර සිටියේය. මෙය Associated Motor Finance Company PLC කොටස් ප්‍රාග්ධනයෙන් 65.60%ක ප්‍රමාණයකි.

    Associated Motor Finance Company PLC හි පාලක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගැනීමට LB Finance වෙත පසුගිය සැප්තැම්බර් 23 දා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණි.

    මෙහිදී එක් කොටසක් වෙනුවෙන් නියම වී ඇති මිල රු.  50කි. ඒ අනුව මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම වෙනුවෙන් LB Finance ආයෝජනය කිරීමට නියමිත මුළු මුදල රු. බිලියන 3.71 ක් වේ. 

    LB Finance PLC යනු වැලිබල් වන් සමූහයේ අනුබද්ධ සමාගමකි. වැලිබල් වන් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 63.47%ක් සෘජුවම, මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම ඉදිරියෙන් ලියැවී තිබේ.

    මේ අතර මෙම වර්ෂය තුළ දී ධම්මික පෙරේරා, තවත් දැවැන්ත ව්‍යාපාර අත්පත් කර ගැනීම් දෙකකට මුලපිරූ අතර එහිදී ලාෆ්ස් හෝල්ඩිංග්ස් සහ වැලිබල් ත්‍රී සමාගමේ එක්වීම කැපීපෙනේ. මීට අමතර  2025 ජූලි 08 දා EAST WEST PROPERTIES PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ද ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා කටයුතු කළේය. ඒ වෙනුවෙන් රු. බිලියන 3.23ක් ඔහු විසින් ආයෝජනය කර තිබුණි.