August, 2, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනය අවසානයේ දී ඒකක 92.88 කින් ඉහළ ගොස් ඒකක 6,503.30 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.45% ක වර්ධනයකි.
අද දින පිරිවැටුම ද කලකට පසු රුපියල් බිලියනය සීමාව ඉක්මවන්නට සමත්විය.
දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් ඩිස්ටිලරීස් සමාගමේ කොටස් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි. පෙර දිනය අවසානයේ රු. 240.00 ක් ලෙසින් සටහන් වූ ඩිස්ටිලරීස් කොටසක මිල අද දිනය අවසානයේ දී දැක්වුණේ රු. 277.00 ක් ලෙසිනි. මෙය පෙර දිනයට සාපේක්ෂව 15.42% ක ඉහළ යාමකි. ඩිස්ටිලරීස් කොටස් ගනුදෙනු හරහා රුපියල් මිලියන 261.81 ක පිරිවැටුමක් අද දිනය තුළ වාර්තා විණි.
මේ අතර අද දිනයේ දී සාකච්ඡා කළ ගනුදෙනුවක් වශයෙන් ද ඩිස්ටිලරීස් සමාගමේ කොටස් දෙලක්ෂයක් රු. 275.00 බැගින් ගනුදෙනු විය. මේ හරහා වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 55 කි. මීට අමතරව දිනය තුළ වාර්තා වූ අනෙක් සාකච්ඡා කළ ගනුදෙනුව වූයේ ටෙක්ස්චර්ඩ් ජර්සි සමාගමේ කොටස් මිලියන 1.3 ක් රු. 38.20 බැගින් ගනුදෙනු වීමයි. රුපියල් මිලියන 50 ක දායකත්වයක් දෛනික පිරිවැටුමට එමගින් ලැබී තිබිණි.
ඩිස්ටිලරීස් සමාගමේ පාලිත සමාගමක් වූ මෙල්ස්ටාකෝප් සමාගම, එහි මව් සමාගම බවට පරිවර්තනය වන බව සමාගම විසින් ඊයේ දිනයේ දී දැනුම් දෙන ලදී. මෙහිදී සමාගම් දෙක හරහා කොටස් හුවමාරුවක් සිදුවන අතර කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ එය තරමක සංකීරණ කොටස් හුවමාරුවක් බවයි. මේ තත්ත්වය තුළ ඩිස්ටිලරීස් කොටස් සඳහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වී ඇති අතර එය මිල දර්ශකවල වර්ධනයට ලබාදෙන්නේ ද විශාල සහායකි. අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට 26% ක දායකත්වයක් ඩිස්ටිලරීස් වෙතින් ලැබී තිබේ.
අද දින දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 655.8 ක් ලෙසින් වාර්තා වූ අතර දේශීය විකිණුම් රුපියල් මිලියන 799 ක් ලෙසින් සටහන් විය. මේ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 346 ක් සහ විදේශීය විකිණුම් රුපියල් මිලියන 202.7 ක් ලෙසින් අද දිනය තුළ වාර්තා වී තිබේ.