October, 31, 2025
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කළ Voyage Sri Lanka 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව, අති සාර්ථකව 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අවසන් විය. “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කිරීම” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව, රටවල් 06 ක නියෝජිතයින් ඇතුළුව 250 කට අධික දෙස් විදෙස් නියෝජිතයින්ගෙන් සමන්විත විය.
ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය හා එහි විභව ආයෝජන අවස්ථාවන් තේමා කොටගත් එලදායි දේශනයන්, සාකච්ඡා වටයන් , දේශීය වශයෙන් නිෂ්පාදිත බෝට්ටු ප්‍රදර්ශනයක්, B2B හමුවීම් හා ජාලකරණ සැසි වලින් පරිපූර්ණ විය. මෙම සමුළුව, රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙහිම ව්‍යවසායකයින්, ආයෝජකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත විශේෂඥයින් ඇතුළුව සහභාගී වූ පාර්ශවකරුවන් ට, නීල ආර්ථිකයේ අවස්ථාවන් විවර කර ගැනීම උදෙසා වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් ආරම්භක දේශනය සිදු කරන ලද අතර ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, නැව් නිෂ්පාදන හා නැව් අලුත්වැඩියා කර්මාන්තය, අක්වෙරළ සේවා,බෝට්ටු තැනීම, ධීවර හා ජලජීවී වගාවන්, සහ නාවුක සංචාරක ක්ෂේත්‍රය තිරසාරව දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී.
සමුළුව සදහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ,අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු අමුත්තන් සහභාගී වූ අතර, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඒ අතර විය.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය ඔස්සේ සමුළුවේ අරමුණ සහ ගමන් මග සම්බන්ධයෙන් විශිෂ්ඨ දැක්මක් ගෙනහැර දැක්වීය. සමුද්‍රීය කර්මාන්ත ඉහළ නංවාලීම සහ ඒ ඔස්සේ රැකියා නිර්මාණය කිරීම සඳහා ගෙන ආ යුතු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වමින්, තිරසාර නීල ආර්ථික සංවර්ධනයක් සඳහා රජය දක්වන කැපවීම අමාත්‍යවරයා සිය කතාවේදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාව, කලාපයේ නීල ආර්ථිකයේ වැදගත් කේන්ද්‍රථානයක් බවට පරිවර්තනය වීමට ඇති හැකියාව සිය කතාවෙන් පැහැදිලි කරන ලදී.

මෙවර පැවති ප්‍රධාන සාකච්ඡා වට ත්‍රිත්ත්වය, ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ ආයෝජන විභවතාවයන් සඳහා මනා පදනමක් ගොඩනගන ලද අතර එකී සාකච්ඡා වටයන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒවා නම්,
පළමු සාකච්ඡා වටය : “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයට උපායමාර්ගික දොරටුවක් ලෙස ත්‍රිකුණාමලය වරායෙහි ඇති ශක්‍යතාවය සහ නව අවස්ථාවන්” -
GAC ශ්‍රී ලංකා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන රිකී බානෙට් මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සාකච්ඡා වටයට, සාමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දකින් හෙබි පිරිසකගේ සහභාගීත්වය ලැබිණි. එයට, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩබලන/අතිරේක හාබර් මාස්ටර් කපිතාන් ලක්ෂි වසන්ත මහතා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉංජිනේරු සහ පරිශ්‍ර කළමනාකරු ගයාන් විජේකෝන් මහතා ගෙන් සම්පත් දායකත්වය ලැබිණි. කලාපීය වෙළඳාම සඳහා දොරටුවක් ලෙසට ත්‍රිකුණාමලය වරාය ස්ථානගත කළ හැකි ආකාරය එහිදී සාකච්ඡාවට ගැනුණු අතර, එහි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ වරාය සඳහා වන ආයෝජන අපේක්ෂාවන් සංවාදයට ගනිමින්, සැපයුම් සහ බලශක්ති මධ්‍යස්ථානයක් ලෙසට ත්‍රිකුණාමලය වරායේ භූමිකාව පිළිබඳව එහිදී ගවේෂණය කෙරිණි.
දෙවන සාකච්ඡා වටය : “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා අක්වෙරළ ආශ්‍රිත ස්වභාවික වායු සහ ගෑස් ගවේෂණයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය” -
මෙම සැසිය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ; ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා; සීමාසහිත LTL හෝල්ඩින්ග්ස් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී (මෙහෙයුම් ) ධම්මික නානායක්කාර; සහ ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ උප සභාපති ආචාර්ය නරේෂ් බානා යන විශේෂඥයින් සම්පත් දායකත්වය ලබා දුණි. සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (SLEDB) සමුද්‍රීය සහ අක්වෙරළ උපදේශක කමිටුවේ සභාපති ආචාර්ය සරත් ඔබේසේකරයන් විසිනි. ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) සඳහා යටිතල පහසුකම් ඇති කිරීම, සහ අක්වෙරළ සුළං ව්‍යාපෘති වැනි පුනර්ජනනීය ප්‍රභවයන් ද ඇතුළුව අක්වෙරළ බලශක්ති අවස්ථාවන් ගවේශණය කිරීම මෙම සාකච්ඡාවට කේන්ද්‍රගත විණි.
තෙවන සාකච්ඡා වටය : “ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදනය සහ නාවික සංචාරක කර්මාන්තය, නීල ආර්ථිකයට සමගාමීව දියුණු කළ හැකි ආකාරය” -
සමුළුවේ තුන්වන ප්‍රධාන සාකච්ඡාව ශ්‍රී ලංකා සමුද්‍රීය වාණිජ කර්මාන්ත මණ්ඩලයේ සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන ලද අතර, එම සාකච්ඡාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මැතිණිය, ඩයිව් ටෙක් වෙන්චර්ස් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශ්‍රාමික අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංචාරක සැලසුම්, සංවර්ධන සහ ආයෝජන අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසූරිය මහතා සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.එච්.එම්.එල්. අමරලාල් මහතා සහභාගී වූහ. එම සාකච්ඡාව, නාවික සංචාරක ව්‍යාපාරය, ජලජීවී වගාව සහ ධීවර කටයුතු සමඟ බෝට්ටු ගොඩනැගීම යන ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබිණි. එහිදී දේශීය සමුද්‍ර ආර්ථිකය නංවාලීමට ඉවහල් වන නව අදහස් එහිදී හුවමාරු වූ අතර, එහිදී තිරසාර සංචාරක ආකෘතීන් සම්බන්ධයෙන්ද අනාවරණය කෙරිණි.
මෙයට අමතරව, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා දේශීය අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP Sri Lanka) ප්‍රධාන ආර්ථික විශේෂඥ ආචාර්ය වගීෂා ගුණසේකර ; වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ප්‍රධාන ජලජ විද්‍යාඥ සහ මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා, රුහුණු විශ්ව විද්‍යාලයේ ධීවර හා සමුද්‍ර විද්‍යා හා තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ.එච්.එම්. අශෝක දීපානන්ද මහතා සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණ සහ සැපයුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉන්දික සිගේරා මහතා ඇතුළු තවත් සම්පත් දායකයින්ද සිය දේශන තුලින් සමුළුව සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලදී. ඔවුන්ගේ අදහස්, සමුළුවට සහභාගී වූවන්ට නීල ආර්ථිකය සම්බන්ධයෙන් බහුවිධ දැක්මක් ලබා දෙන්නට සමත් විණි.
සෙලාන් බැංකුව, Lanka Maine Services, Lanka IOC, Hayleys Advantis, ශ්‍රී ලංකා සමුද්‍ර කර්මාන්ත මණ්ඩලය (CMISL) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, Voyage Sri Lanka 2025 සමුළුව සාර්ථක කර ගැනීම උදෙසා සමාදර අනුග්‍රාහකත්වයන් සපයන ලදී.
සමුළුව සහ එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් වැඩි විස්තර, www.voyagesrilanka.lk නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකියාව තිබේ.
Video Story