යතුරුපැදි ධාවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් Hayleys Advantis සහ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව එක්ව “100 for 100” මාර්ග ආරක්ෂණ වැඩසටහන දියත් කරයි

    September, 10, 2026

    හේලීස් සමූහ ව්‍යාපාරයේ  ප්‍රවාහන හා කාර්යෝපාය  අංශය වන Hayleys Advantis සමාගම, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සමඟ එක්ව මෙරට යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ‘’100 for 100’’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

    අද වන විට යතුරුපැදි අනතුරු ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ එවන් වකවානුවක් තුළ වීම විශේෂත්වයකි. 2024 වසරේ නිල දත්තවලට අනුව, මෙරට සිදු වූ සමස්ත මාර්ග අනතුරුවලින් 34%ක් සඳහාම යතුරුපැදි සම්බන්ධ වී ඇති අතර, සිදු වූ මාරක අනතුරුවලින්  ජීවිත අහිමි වූවන්ගෙන් 31%ක්ම යතුරුපැදි ධාවකයින් ය. මේ නිසා, පදිකයන්ට පසුව මෙරට මාර්ගයන්හි දෙවැනි විශාලතම අවදානම් කණ්ඩායම බවට යතුරුපැදි ධාවකයින් පත්ව ඇති බව කණගාටුවෙන් සඳහන් කළ යුතුය.

    ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන හා කාර්යෝපාය සමාගමක්  ලෙස, තමන් සමඟ එක්ව සිටින ජනතාව සහ සමස්ත ප්‍රජාව වෙනුවෙන් වඩාත් සුරක්ෂිත මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීමට දායක වීමේ වගකීම මනාව වටහා ගෙන ඇති Hayleys Advantis සමාගම  ශ්‍රී ලංකාව පුරා සිටින යතුරුපැදි ධාවකයින් හට නිවැරදි මාර්ග ආරක්ෂණ අධ්‍යාපනය සහ ප්‍රායෝගික පුහුණුව  ලබා දීම සඳහා මෙම වැඩපිලිවෙල ආරම්භ කර ඇත. ප්‍රායෝගික වැඩපිළිවෙලක්  ලෙස  ‘’100 for 100’’ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීම තුලින් සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට Hayleys Advantis බලාපොරොත්තු වේ.

    මීට සම්බන්ධ වන සෑම ආයතනයක්ම තමන්ගේ සේවකයින්, ක්ෂේත්‍ර මෙහෙයුම් යතුරුපැදි ධාවකයින්, භාණ්ඩ බෙදාහැරීමේ නිලධාරීන් හෝ දෛනිකව යතුරුපැදියෙන් ගමන් බිමන් යන පිරිස් අතරින් යතුරුපැදි ධාවකයින් 100 දෙනෙකු බැගින් තෝරා ගනිමින් ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ආරක්ෂිත ධාවනය පිළිබඳ දැනුම සහ නිවැරදි මාර්ග ආරක්ෂණ මාර්ගෝපදේශ ලබා දීමට  කටයුතු කරනු ඇත.

    සෙසු ආයතනවලට කදිම ආදර්ශයක් සපයමින් Hayleys Advantis මෙම ජාතික වැඩසටහන ප්‍රථමයෙන්ම සිය අනුබද්ධිත ආයතනය වන Citypak සමාගම හරහා ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා ඇත. ශ්‍රී ලංකාවේ දේශීය පාර්සල් සහ ලේඛන බෙදාහැරීමේ ක්ෂේත්‍රය තුළ වසර 30කට අධික අත්දැකීම් ඇති Citypak සමාගම දිවයින පුරා ශාඛා 45කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යමින් වසරකට පාර්සල් මිලියන දෙකකට වඩා පාරිභෝගිකයන් වෙත ආරක්ෂිතව බෙදාහරිනු ලබයි. ඒ අනුව, Hayleys Advantis සිය සන්නාම මෙහෙයුම් තුළ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ලබාදෙන මෙම පුහුණුව ආරම්භ කිරීමට Citypak සමාගම සතු දැවැන්ත ජාලය සුවිසල් ශක්තියක් සපයනු ලැබීය.

    මෙම ජාතික වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Hayleys Advantis සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා “යතුරුපැදි ධාවකයින් යනු රට පුරා විසිරී සිටින මාර්ග පරිශීලනය කරන විශාල කණ්ඩායමක්. නමුත් අනෙකුත් වාහන කාණ්ඩ මෙන් නොව, ඔවුන් වෙත අඛණ්ඩව මාර්ග ආරක්ෂණ අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම සඳහා එකම මධ්‍යගත ජාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. එම නිසා, සේවා ස්ථාන ප්‍රායෝගික මෙවලම් ලෙස භාවිත කරමින් ඔවුන්ගේම ජාලයන් හරහා මෙම පණිවිඩය යතුරුපැදි ධාවකයින් වෙත රැගෙන යාමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සමඟ ඒකාබද්ධව අප ‘’100 for 100’’ වැඩසටහන නිර්මාණය කළා.  මේ හරහා විවිධ ආයතනවලට තම සේවකයින්ගේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දීමට අවස්ථාව සැලසෙනවා. දිවයින පුරා සිටින අනෙකුත් ව්‍යාපාරික ආයතන සහ සංවිධානද මෙම අභියෝගය භාරගෙන, ශ්‍රී ලංකාව පුරා වඩාත් සුරක්ෂිත මාර්ග සංස්කෘතියක් බිහි කිරීමේ මෙම ජාතික ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කර සිටියේ ‘’100 for 100’’ වැඩසටහන රටේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පෞද්ගලික අංශයට ප්‍රායෝගිකව දායක විය හැකි ආකාරය පෙන්වන කදිම උදාහරණයක් ලෙස සඳහන් කළ හැකියි. Hayleys Advantis සමාගම මේ සඳහා දැක්වූ සහයෝගය අපි ඉතා අගය කරනවා. අනෙක් ආයතනවලටත් තමන්ගේ රියදුරන් දැනුවත් කරමින්, ලංකාවේ මාර්ග වඩාත් ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම සඳහා අත්වැල් බැඳගැනීමට අපි ආරාධනා කරනවා. රජය, ව්‍යාපාරික අංශ සහ මහජනතාව එක්ව කටයුතු කිරීම තුලින් මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙළවල රට පුරාම සාර්ථකව පවත්වාගෙන යාමට හැකිවනවා.” යනුවෙනි.

     

    ඡායාරූපය  - (වමේ සිට දකුණට) - රුවන් වෛද්‍යරත්න මහතා (Hayleys Advantis සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ), ගරු බිමල් රත්නායක මහතා (ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය), වාසීහරන් ත්‍යාගරාජා මහතා (Citypak සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී)