October, 1, 2026
ශ්‍රී ලංකා රේගුව සිය ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ සුවිශේෂී සංධිස්ථානයක් සලකුණු කරමින් අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි රේගු ප්‍රකාශන (CusDecs) බාරගැනීම සහ නිකුත් කිරීම 'කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය' යටතේ සිදු කිරීම අරඹන ලදී. එහි සමාරම්භක අවස්ථාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී සිදුවිය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ රාජ්‍ය ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශය (RARMB), ශ්‍රී ලංකා රේගුව සහ Lanka Sign ආයතනය එක්ව මෙය ක්‍රියාවට නංවන ලදී.
මෙම කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය හරහා ආනයනයකරුවන් වෙත ඩිජිටල් අත්සන් ක්‍රමයක් හඳුන්වා දී රේගු ප්‍රකාශන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කිරීම සිදුවේ. දැනට රේගු දෙපාර්තමේන්තුව රේගු ප්‍රකාශන සඳහා භාවිතා කරන ASYCUDA පද්ධතියේ කටයුතු කඩදාසි වෙනුවට ඩිජිටල් අත්සන සහිතව ඩිජිටල් ක්‍රමවේදයක් හරහා සිදු කිරීම මේ යටතේ සිදුවේ.
උත්සව සභාව ඇමතූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ මෙම කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය වසර 200කට වැඩි ඉතිහාසයක් සහිත රේගු දෙපාර්තමේන්තුවේ සුවිශේෂී මං සලකුණක් වන බවයි. එසේම මෙය සියලු ව්‍යාපාර කටයුතු විධිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා හඳුන්වා දීමට යන ඩිජිටල් ක්‍රමවේදය වන ජාතික තනි කවුළුව (National Single Window) සඳහා අත්‍යාවශ්‍ය ප්‍රධාන පියවරක් වන බවත් සඳහන් කරන ලදී.
මේ වන විටත් කඩදාසි රහිත රේගු ප්‍රකාශන සඳහා ආනයනකරුවන් 1144ක පමණ ප්‍රමාණයක් ලියාපදිංචි වීමත් ඔවුන් සමස්ත ආනයන ප්‍රමාණයෙන් 60%කට අධික ප්‍රමාණයක් සිදුකරන ආනයනකරුවන් වීමත් සුවිශේෂී තත්ත්වයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. නව ක්‍රමවේදය හරහා ආනයන කටයුතු කාර්යක්ෂම වීමට අමතරව ආනයන වියදම් අඩු කරගැනීමටත් අවස්ථාව ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
එසේම ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ මෙන්ම මේ වසරේදීද ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය තුළ දක්වන සාර්ථකත්වයද නිශාන්ත ජයවීර මහතාගේ ඇගයීමට ලක්විය. දිට්වා ආපදාවෙන් පසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කිරීම, මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල පාලනය කිරීමට අවස්ථා දෙකකදී මුදල් වෙන් කිරීමට හැකිවීම, අධිවේගී මාර්ග 03ක ඉදිකිරීම් දේශීය අරමුදල් යොදාගනිමින් සිදුකිරීම ඇතුළුව තවත් සංවර්ධන කටයුතු ණය ලබා නොගෙන සිදුකිරීමට හැකියාව ලැබී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක සාර්ථකව ලඟා කර ගැනීම නිසා බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එම කාර්යය සඳහා දායකත්වය දැක්වූ රේගු නිලධාරීන්ට සිය ස්තූතියද පළ කරන ලදී.
අද දින සිට ආරම්භ වූ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය සඳහා අත්‍යාවශ්‍ය ආරම්භක පියරවක් වූයේ බහාලුම් තොරතුරු ASYHUB පද්ධතිය හරහා ලියාපදිංචි කිරීමයි. 2025 වසරේ මැයි මස 07 වන දින සිට සියලු භාණ්ඩ ලේඛන ASYHUB පද්ධතිය හරහා ලියාපදිංචි කිරීම අනිවාර්ය කළ අතර එමගින් බහාලුම්වලට අදාළ නැව් ගමනාගමන මාර්ග, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්, නෞකා ක්‍රියාකරුවන්, වරාය බලධාරීන් සහ රේගුව එකිනෙක සම්බන්ධ කරන ලදී. එමගින් බහාලුම් වරායට ළඟාවීමට පෙර හෝ ඊට ආසන්න කාලයේදී අදාළ බහාලුම් සම්බන්ධ තොරතුරු රේගුව වෙත ලබාගැනීමට හැකියාව ලැබුණි.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් වන රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රමවේදය යටතේ ආරම්භ කරන මෙම කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය මගින් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු සේවයක් ලබාදීමට හැකිවනු ඇත. ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදු කෙරෙන වෙනස්කම් මෙම පද්ධතිය මඟින් හඳුනා ගනු ලබන බැවින් වංචා දූෂණ සඳහා අවස්ථාව අවම වීමද මෙහි විශේෂත්වයකි.
අද දින මෙම උත්සවය සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විමල් ලියනගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්විය.
Video Story