Sri Lanka PLAST 2016 expo තුන්වන වරටත් පැවැත්වීමට සූදානම්

    August, 4, 2016

    Sri Lanka Plast, Rubexpo, Compack සහ Enmach නමින් ප්‍රදර්ශන හතරක් සමගාමීව පැවැත්වෙයි.

    ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරිකයින් මුණ ගැසෙන Sri Lanka PLAST 2016 තුන්වන වරටත් පැවැත්වෙයි. කොළඹ බණ්ඩාරණායක සම්ම්න්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. එකිනෙකට වෙනත් ක්ෂේත්‍රයන් සඳහා වෙන්වූ ප්‍රදර්ශන 4ක් මෙම Sri Lanka PLAST 2016 යටතේ පැවැත්වෙයි. ඒ අනුව ප්ලාස්ටික් නිපැයුම් සඳහා Sri Lanka Plast ප්‍රදර්ශනයත්, රබර් නිෂ්පාදන ආශ්‍රිතව Rubexpo ප්‍රදර්ශනය සහ ඇසුරුම්කරණය තේමා කරගනිමින් මෙම වසරේ මුල් වරට ඇරඹෙන Compack මෙන්ම නිෂ්පාදන අවශ්‍යතා ඉලක්ක කරගනිමින් පැවැත්වෙන Enmach ආදී ප්‍රදර්ශන මීට අයත් වෙයි.

    කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මහතා මෙහි සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන අමුත්තා ලෙස එක්වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි කේ සිංහා සහ ඉන්දියාවේ ජාතික කුඩා ව්‍යාපාර සංස්ථාවේ අධ්‍යක්ෂ ශ්‍රී පී උදයකුමාර් යන අයද එක්ව සිටියහ.

    ප්‍රධාන ආරාධිතයා වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේ මෙරට තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට ලොව විවිධ රටවල් සමඟ ඒකාබද්ධව කටයුතු කරන බව සියලු දෙනා හොඳින් දන්නා බවයි. මෙරට නිෂ්පාදන හා සේවා සඳහා ජාත්‍යන්තර වටිනාකම ඉහළ නංවා ගැනීමට මෙවැනි වැඩපිළිවෙල මඟින් මහත් පිටුබලයක් ලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය. රබර් සහ ප්ලාස්ටික් සඳහා මේ වන විට ජාත්‍යන්තර ඉල්ලීම ඉහළ යමින් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය සැපයුම ලබාදීම සඳහා මෙවැනි කළමණාකරණය කිරීම් අත්‍යවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළේය.

    ප්‍රදර්ශන කුටි 175 කින් සමන්විත මෙම ප්‍රදර්ශණය සඳහා රටවල් 10 ක පමණ නියෝජිතයෝ සහ සහභාගිවන්නන් එක්ව සිටින අතර ප්ලාස්ටික්, ඇසුරුම්කරණය, රබර් සහ නිෂ්පාදන ආදී සියල්ලක් පිළිබඳවම එකම වහලක් යටදී කරුණු දැනගැනීමට සහ සැපයුම්කරුවන් හඳුනා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙයි.

    ඉන්දියාවේ Enterprising Fairs India (Pvt) Ltd හි සභාපති බී. ස්වාමිනාදන් මහතා පෙන්වා දුන්නේ සෑම කර්මාන්තයකම වර්ධනයට ප්‍රදර්ශන ඉවහල් වන බවයි. නවීන යන්ත්‍ර සූත්‍ර සහ අමු ද්‍රව්‍ය පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම සහ එම අවස්ථා හඳුනා ගැනීමට ඉඩ සැලසීම ප්‍රදර්ශණයකදී සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම මෙම ප්‍රදර්ශන වලදී නවීන තාක්ෂණය සහ අවම පිරිවැයක් යටතේ භාණ්ඩ හා සේවා නිපදවීම පිළිබඳව ද දැනුවත් විය හැකි බව ඒ මහතා වැඩිදුරටක් සඳහන් කළේය. තවද ප්‍රදර්ශණයකදී නව ආයෝජකයින් සහ රැකියා අවස්ථා රැසක් නිර්මාණය වන බවද ස්වාමිනාදන් මහතා කීය.

    මෙම ප්‍රදර්ශනය Enterprising Fairs India (Pvt) Ltd විසින් සංවිධානය කරන අතර ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL)විසින් සම සංවිධායකත්වය දරනු ලබයි. වසර 2023 වන විට මෙරට රබර් කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක ආදායමක් උපයාගැනීම මෙහි ඉලක්කය වන අතර මේ වසරේ ලොව ප්‍රමුඛ රටවල් වන ජර්මනිය, චීනය, සහ තායිවානය ආදී රටවල් නියෝජනය කරමින් නියෝජිතයෝ එක්ව සිටියි. ඔවුන් සිය යන්ත්‍ර උපකරණ සහ අනිකුත් උපාංග මෙන්ම අමුද්‍රව්‍ය පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම් සිදුකරයි.

    Sri Lanka PLAST 2016 ප්‍රදර්ශණයට සමගාමීව ප්‍රධාන විධායක නිලධාරීවරුන්ගේ සමුළුවක් ද පැවැත්වෙන අතර ඒ සඳහා සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද නියෝජිතයෝ එක්වනු ඇත."රබර් කර්මාන්තයේ වර්ධනීය අවස්ථා " සහ "අග්නිදිග ආසියාවේ පොලිමර් සඳහා වන මිල සහ මිලදීගැනීමේ හැකියාව" ආදී මාතෘකා පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    2016 වසරේ අගෝස්තු 5 - 7 වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය සඳහා සම සංවිධායකත්වය ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) මගිනි. මේ සඳහා සහයෝගය ලබා දෙන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), රබර් පර්යේෂණ ආයතනය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සහ ඉන්දියාවේ ප්ලාස්ටික් අපනයන ප්‍රවර්ධන කවුන්සිලය (PLEXCONCIL)විසිනි.