කාන්තා ව්‍යවසායකත්වය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    August, 8, 2016

    කාන්තා ව්‍යවසායකත්ව කර්මාන්ත දිරි ගැන්වීමේ අරමුණින් සෑම දෙවසරකට වරක් පවත්වනු ලබන කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

    ශ‍්‍රී ලංකා ආර්ථිකයට ලබාදෙන සුවිශේෂී දායකත්වය අගයමින් කාන්තා ව්‍යවසායිකාවන් 10 දෙනෙකුට මෙහිදී සම්මාන ප‍්‍රදානය කෙරුණු අතර හොඳම ව්‍යවසායකත්වයට හිමි රන් සම්මානය ජනාධිපතිතුමා අතින් ව්‍යවසායිකා ලක්මිණී විජේසුන්දර මහත්මියට පිරිනැමිණි.

    කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනි රිෆා මුස්තාෆා මහත්මියගේ මූලිකත්වයෙන් සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර, ක්ෂේත‍්‍ර හතරක් ඔස්සේ හඳුනාගෙන ඔවුන් දිරි ගැන්වීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කෙරෙන අතර මෙවර එය පැවැත්වූයේ නව වන වරටය.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, පාඨලී චම්පික රණවක, ෆයිසර් මුස්තාෆා, චන්දිම වීරක්කොඩි, රිෂාඩ් බදියුදීන්, සුජීව සේනසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.